Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුවරඑළිය මාර්ග ධාවන යතුරුපැදි තරගාවලියේදී සිදුවූ අනතුරකින් යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ බරපතළ තුවාල ලබා මියයාම යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් සිදුවූ අනතුරක් බවටත් අවදානම් ස්ථානවල වේගය පාලනය කර ගැනීම තරගකරුවන් සතු බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ත්‍රි පුද්ගල කමිටුව සිය නිගමන ඉදිරිපත් කරමින් කියා සිටියි.
පසුගිය වසරේ අප්‍රේල් 23 වැනිදා නුවරඑළියේදී පැවැති එම යතුරුපැදි ධාවන තරගාවලියේ සී.සී.-450 කාණ්ඩයේ යතුරුපැදි ඉසව්වට තරග වදිමින් සිටියදී ඊට සහභාගිවූ තවත් යතුරුපැදි ධාවකයෙකු වන සුරාජ් පෙරේරාගේ යතුරුපැදියේ හැඬලය හා ආනන්ද වෙඩිසිංහගේ යතුරුපැදියේ හැඬලය ගැටීමෙන් එම මාරක අනතුර සිදුවිය. මෙම සිදුවීමෙන් සුරාජ් පෙරේරාද තුවාල ලැබූ අතර එයින් මාරක තුවාල ලද ආනන්ද වෙඩිසිංහ එයින් පසු මහනුවර රෝහලේ දින ගණනාවක්ම සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිට මෙලොව හැර ගියේය.
එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන හා ගිණුම්) එච්.එම්.බී.පී. හේරත් යන මහත්වරුන්ගෙන් සමන්විත එම කමිටුව අනතුර සම්බන්ධයෙන් කළ විමර්ශනයේ වාර්තාව මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයාට භාරදී තිබේ.
එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවේ නිගමන ලුහුඬින් මෙසේය.
■ අවසාන වටයට අවතීර්ණවීමත් සමඟම තරගකරුවන් දෙදෙනාම (ආනන්ද වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරා) ඉදිරියට යාමට උත්සාහ කිරීමේ වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් යතුරු පැදි දෙකෙහි හැඬල ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
■ මාර්ග ධාවන තරගවලදී අනතුරුවීමේ ප්‍රවණතාවය වැඩි බැවින් තරගකරුවන් එම තත්ත්වය අවබෝධ කර ගනිමින් අවදානම් ස්ථානවලදී වේගය පාලනය කර ගැනීම ඔවුන් සතු වගකීමක් බැවින් අනතුර සම්බන්ධයෙන් අදාළ තරගකරුවන් දෙදෙනාම වගකිව යුතුය.
■ තරගකරුවන්ට ආරම්භක ස්ථාන තීරණය කිරීම සඳහා තුණ්ඩු ඇදීමේ ක්‍රමය භාවිතය නුසුදුසු බවට යෝජනා කෙරේ. (මෙම සිදුවීමට මුහුණ දුන් තරගකරුවන් දෙදෙනාම අති දක්ෂයන් බැවින් ඔවුන්ට දුරස්වූ ස්ථාන ලැබීමෙන් එකිනෙකා ඉදිරියට යාමට දරන උත්සාහය තීව්ර වේ.)
ආනන්ද වෙඩිසිංහගේ මරණය සම්බන්ධයෙන් කමිටුව විසින් කරන ලද විමර්ශනයට ඔහු රෝහල්ගතව ලබාගත් ප්‍රතිකාර හා ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවද සැළකිල්ලට ගෙන තිබේ.
පරීක්ෂණය සඳහා පාර්ශ්වකරුවන් සිව් දෙනකු කැඳවා තිබේ. අනතුරෙන් තුවාල ලද සෙසු තරගකරු වන සුරාජ් පෙරේරා, අධීක්ෂණ නිලධාරි රමේෂ් මනෝහාන් සිල්වා, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයේ ලේකම් අනිල් ජයකොඩි, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ සභාපති තුසිත් ද සිල්වා යන මහත්වරු විමර්ශන කටයුතු සඳහා සහභාගි කරගත් එම පාර්ශ්වකරුවෝ වෙති.
මෙම අනතුර සිදුවූ සී සී -450 කාණ්ඩයේ යතුරුපැදි තරගය සඳහා තරගකරුවන් 17 දෙනෙකු සහභාගිවී තිබෙන අතර එහි වට ගණන හතකි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණු මෙම යතුරුපැදි ධාවන තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා පාර්ශ්වකරුවෝ හත් දෙනෙකු සම්බන්ධවී සිටියහ.
තරගාවලියේ සංවිධාන කටයුතු මනා ලෙස සංවිධානය කර තිබූ බව කමිටු වාර්තාව සිය විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබේ. එහිදී යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සහය ඇතිව ධාවන මාර්ගයේ ප්‍රධාන හැරවුම් අසළ වැලි කොට්ට 8000 ක් හා මැක්සිෆෝම් මෙට්ට 150ක් පමණ යොදා වඩාත් ප්‍රමිතියකින් යුක්තව අනතුරුවලින් වන හානි අවම කර ගැනීමට සංවිධායකයෝ කටයුතු කර ඇතැයි එම නිගමනවලින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
මතභේදයට තුඩු දුන් සිදුවීමට සම්බන්ධ මෙම තරගාවලිය සඳහා සහභාගිවූ සියළුම තරගකරුවන් බලපත්‍රලාභී පළපුරුදු අය බවත් අනතුරුට මුහුණ දුන් තරගකරුවන් දෙදෙනාම වේගය අතින් ඉදිරියෙන්ම සිටි තරගකරුවන් බවත් විමර්ශන වාර්තාව කියයි.
විමර්ෂණ වාර්තාවෙන් දක්වා තිබෙන තවත් වැදගත් කරුණු කීපයක් මෙසේය.
■ තුණ්ඩු ලැබීම අනුව අනතුරට භාජනය වූ වෙඩිසිංහට දෙවැනි ස්ථානයත් සුරාජ් පෙරේරා හත්වැනි ස්ථානයත් ලබා තිබේ.
■ තරගයේ පස්වැනි වටය වන විට වෙඩිසිංහ හා සුරාජ් පෙරේරා කරට කර සටනක නිරතව සිටියහ.
■ හයවැනි වටය ආරම්භයේ පළමු හැරවුමේදී (වංගුවේදී) මෙම තරගකරුවන් දෙදෙනා අනතුරට භාජනයවීම. ඒ වනවිට ඔවුන්ගේ ධාවන වේගය කිලෝ මීටර් 170 ත් 180 ත් අතර අගයක් ගැනීම.
■ අවසාන වටයට අවතීර්ණ වීමේදී දෙදෙනා ලබාගත් වේගයත් සමඟ ඔවුන්ගේ යතුරුපැදි පාලනයෙන් මිදී ඒවායෙහි හැඬල පැටළීම.
■ අනතුරුව ආනන්ද වෙඩිසිංහ විසිවී ගොස් යකඩ වැටෙහි ගැටී ඇදවැටීම හා සුරාජ් පෙරේරා වැලි කොට්ටයක වැදී විසිවී ගොස් වැටීම.
■ දකුණු අත බිඳුණු සුරාජ් පෙරේරා සිය යතුරු පැදිය පැදයමින් නැවතත් තරගයට අවතීර්ණවීමට උත්සාහ දැරීම.
■ අදාළ අනතුරට පත් ඉසව්ව නිමාවට පත්වීමත් සමග සුරාජ් පෙරේරා හා ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ ස්ථානයේදීම ගිලන් රථයකට දමා නුවරඑළිය රෝහල වෙත රැගෙන යාම.
■ රෝහල් ගත කළ ආනන්ද වෙඩිසිංහගේ කකුල කැඩී බිඳී ගොස් තිබෙන බව අනාවරණය වීමෙන් පසුව වහාම ඔහු මහනුවර රෝහලට මාරු කිරීම.
■ එම අවස්ථාවේදී උද්ගතවී තිබූ තත්ත්වය අනුව අනතුරට පත් ආනන්ද වෙඩිසිංහ වෙනත් ආකාරයකින් ගිලන් රථයක් කරා ගෙන යාමේ අවස්ථාවක් නොතිබීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රමාදයක් සිදුවී නැති බවට සනාථ වීම.
■ සුරාජ් පෙරේරා ප්ලාස්ටරයක් දැමීමෙන් පසුව සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව යාම.
අදාළ සිදුවීමේදී රෝහල් ප්‍රතිකාර හා මරණ පරීක්ෂණය පිළිබඳව විමර්ශන වාර්තාවේ දැක්වෙන්නේ ඒ පිළිබඳව වාර්තා ලබා ගැනීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ගත් උත්සාහය සාර්ථක නොවීමෙන් ඒවා විමර්ශන කමිටුවේ නිරීක්ෂණ සඳහා පාදක කර ගැනීමට නොහැකි බවයි.එබැවින් විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද වූ බවත් ත්‍රි පුද්ගල කමිටුව එම වාර්තාවෙන් කරුණු දක්වයි.
කමිටුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉදිරිපත්වූ සාක්ෂිවලට අමතරව වීඩියෝ දර්ශන තුළින්ද මෙම අනතුර සම්බන්ධයෙන් සිය නිගමන ඉදිරිපත් කිරීමට උනන්දු වූ බවයි.
විමර්ෂණ කමිටුව ආනන්ද වෙඩිසිංහගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භවී ඇත්තේ පසුගිය ජුලි 11 වැනිදා සිටය.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.