Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විමර්ශන ඇරඹෙයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විමර්ශන ඇරඹෙයි

editorial - 2023 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් අද (10 වැනිදා) දවස පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරීන් සමගින් තනි තනිව මුණගැසුණු කවාජා මහතා ඊයේ සවස 7.00 ට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මුණගැසීමට සූදානමින් සිටියේය.

කවාජා මහතා හෙට (11 වැනිදා) පස්වරුවේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුවීමේ සූදානමක් පවතින බවද ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියෙක් තහවුරු කළේය.

“ඒ හමුවීම තියෙන්නේ කීයටද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් බ්‍රහස්පතින්දා සවස 3.00 ත් 5.00 ත් අතර වෙලාවක ඒ හමුවීම තියෙන්න පුළුවන්” යයි ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියා පැවසීය.

කවාජා මහතා අද සවස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද හමුවිය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව තිදෙනකුගේ කමිටුවක් පත්කරන ලදි. මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහත්වරුන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇතිවී ඇතැයි කියන බලපෑම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පැමිණෙන කවාජා  මහතා දින දෙකක් ඇතුළතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩා ඇමතිවරයාත් මුණගැසීමට සූදානමින් සිටියේය. එහෙත් ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද විවිධ කමිටුවලට සම්බන්ධ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් දී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරියා හමුවීමට කිසිම ආකාරයකින් තනිවම නොයන ලෙයසි. හැකිතරම් පැරණි ක්‍රීඩකයකු සමගින් අන්තර්ජාතික  ක්‍රිකට් නිලධාරියා හමුවට යන ලෙස හිටපු ක්‍රීඩකයන් ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් දී තිබේ.

මෙ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ නොවන, වෙනත් පාර්ශ්ව කිහිපයක් සමගින් ද සාකච්ඡා පැවැත්වීමට ඉම්රාන් කවාජා මහතා සූදානම් වී සිටින බවත් දැනගන්නට ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවටම පැමිණ පරීක්‍ෂා කර බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ආරාධනා කර සිටියේය. මේ අතර ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපියකින් දන්වා සිටියේ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට තමන් සූදානම් බවයි.

 


අදහස් (0)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විමර්ශන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.