Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපිට අනිවාර්යෙන්ම දිනන්න වෙලා
පූර්විකාව

අපිට අනිවාර්යෙන්ම දිනන්න වෙලා

editorial - 2022 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

නැමීබියාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු යැවීම, පන්දු රැකිම සහ පන්දුවට පහරදීම යන අංශ තුනෙන් සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් හෙට (18 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් පසුවන බව කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසයි.

චාමික ඒ බව කියා සිටියේ අද (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

නැමීබියාව හමුවේ ලද පරාජය සම්බන්ධයෙන් දැන් කණගාටු වීමෙන් පලක් නොමැති බවත්, ඉතිරි තරග 2 ජයගනිමින් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා කණ්ඩායමේ පූර්ණ අවධානය යොමු කර ඇති බවත් එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

“ඊයේ තරගය අපි පැරදුණා. ඒ නිසා දැන් අපිට ඊළඟ තරග 2 අනිවාර්යෙන්ම දිනන්න සිදුවෙලා තියෙනවා. කණ්ඩායමේ හැමෝම දන්නවා කොහොම හරි අපි මේ තරග 2 දිනන්න ඕන කියලා. ඒ සඳහා අපි හැමෝම අපේ උපරිමයටත් වඩා යොදවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි චාමික පැවැසීය.

“අපේ කාණ්ඩයේ ඉන්න කණ්ඩායම් 4 ම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් ඉන්නවා. එක්සත් අරාබි එමීර් - නෙදර්ලන්ත තරගය අරන් බැලුවත් ලොකු තරගකාරීත්වයක් තිබුණා. තරගයේ ජය පැරදුම තීරණය වුණේ අවසන් පන්දුවේදි. ඒ නිසා ඉතිරි තරගවලදිත් ගොඩක් දේවල් අපිට බලාගන්න පුලුවන් වේවි.” යැයි ‘ඒ’ කාණ්ඩය තුළ පවතින තරගකාරීත්වය සම්බන්ධයෙන් චාමික කීය.

හෙට තරගයේදී පන්දු යැවීමේ අංශයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි වුවත්, පිතිහරඹ අංශයේ ඇතැම් විට වෙනසක් බලාපොරොත්තු විය හැකිය. කණ්ඩායමේ අංක 4 ස්ථානයේ පිතිහරඹයේ නිරතවන ධනුෂ්ක ගුණතිලක අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 ජාත්‍යන්තර 7 දීම රැස්කරගෙන ඇත්තේ ලකුණු 63 ක් පමණක් වීම ඊට හේතුව ලෙස දැක්විය හැකිය.

එහිදී ධනුෂ්ක රඳවාගෙන ඇති සාමාන්‍යය 9 ක් වන අතර අවසන් වරට ක්‍රීඩා කළ තරග 4 දී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 1 ක්, 0 ක්, 1 ක් සහ 0 ක් ලෙසිනි. එබැවින් හෙට තරගයේදී ධනුෂ්කගේ ස්ථානය සඳහා අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වන චරිත් අසලංක කැඳවුවහොත් එහි පුදුමවන්නට දෙයක් නැත.

කෙසේ වුවත් කණ්ඩායමේ වෙනස්කම් පිළිබඳව අදහස් දැක්වීමට ඉස්සර නොවූ චාමික, කණ්ඩායම් වශයෙන් පෙර තරගයේදී පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන අංශ තුනෙන්ම අසාර්ථක වූ බවත්, එවැනි අවස්ථාවක කළ යුත්තේ ක්‍රීඩකයන් මාරු කිරීමට වඩා එම වැරදි නිවැරදි කරගැනීම සඳහා ඔවුන්ට අවස්ථාවක් ලබාදීම බවත් සඳහන් කළේය.

“ඒක අපිට නරක දවසක්. ඒ තරගයෙදි නැමීබියාව අපිට වඩා අංශ තුනෙන්ම ඉදිරියෙන්ම හිටියා කියන එක අපිට පිළිගන්න වෙනවා”

“දැන් අපි අවබෝධ කරගෙන ඉන්නෙ අපේ අතින් සිදුවන වැරදි මොනවාද කියලා. ඊයේ ක්‍රීඩා කළාට වඩා හුඟක් හොඳින් ක්‍රීඩා කරන්න අපේ කණ්ඩායමට පුලුවන්. ඒ නිසා වැරදි හදාගෙන ආපසු තරගාවලියට පිවිසෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයි චාමික පැවසීය.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක සහ ප්‍රමෝද් මධුෂාන්

එක්සත් අරාබි එමීර් සංචිතය
සී.පී. රිස්වාන් (නායක), විරිත්‍යා අරවින්ද්, චිරාග් සූරි, මොහෙමඩ් වසීම්, බැසිල් හමීඩ්, ආර්යන් ලක්රා, සවාර් ෆරීඩ්, කශීෆ් ඩාවුඩ්, කාර්තික් මෙයියප්පන්, අහමඩ් රාසා, සහූර් ඛාන්, ජුනයිඩ් සිද්දික්, සබීර් අලී, අලිෂාන් ෂරාෆු සහ ආර්යන් ඛාන්


අදහස් (0)

අපිට අනිවාර්යෙන්ම දිනන්න වෙලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.