Last Update  :  2024-10-18 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපිට මන්දගාමී තණතීරුවලට හුරු වෙන්න බැරි වුණා

අපිට මන්දගාමී තණතීරුවලට හුරු වෙන්න බැරි වුණා

editorial - 2024 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට..)

මෙවර කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ මුල් තරගය දෙකේදීම පාකිස්තානය සහ ඕස්‍ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමට හේතුව මන්දගාමී තණතීරුවලට අවශ්‍ය පරිදි හැඩගැසීමට නොහැකි වීම යැයි නායකා චමරි අතපත්තු කියා සිටියාය. ඇය ඒ බව පැවැසුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (5 වැනිදා) පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

“මේ තරග‍ දෙකේදිම අපි පළවෙනි ඕවර 6 දී අවශ්‍ය ප්‍රමාණයට ලකුණු ලබාගත්තෙත් නෑ. ඒ වගේම කඩුලුත් ඔහේ විසිකළා. මේ තණතීරු ගොඩක් ඉපිළීම සහ වේගය අඩු ගොඩක් මන්දගාමී තණතීරු. එහෙමයි කියලා අපිට තණතීරු වලට දොස් කියන්න බෑ. අපිට මොන විධියෙ තණතීරු ලැබුණත් අපි දැනගන්න ඕන ඒවට හුරු වෙලා ක්‍රීඩා කරන්න.”

“අපි දන්නවා විෂ්මි හොඳට ලකුණු අතර හිටපු ක්‍රීඩිකාවක්. වේගය සහ ඉපිලීම තියෙන තණතීරුවල එයා හොඳින් පන්දුවට පහර දෙනවා. මම වුණත් එහෙමයි. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වුණත් ඒ වගේ වේගවත් තණතීරුවල ක්‍රීඩා කරලා මෙහෙට ඇවිත් තියෙන්න. ඒත් එයාලා මේ තණතීරුවලත් හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා අපිට කියන්න බෑ අපිට වේගවත්, ඉපිලීම තියෙන තණතීරුම ඕන කියලා හොඳින් ක්‍රීඩා කරන්න.” යැයි චමරි පැවසුවාය.

ක්‍රීඩා කළ පළමු තරග‍යේදී පාකිස්තානය හමුවේ ලකුණු 85 කට දැවී ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, දෙවැනි තරගයේදී ඕස්ට්ට්‍රේලියාව හමුවේ ලකුණු 97 කට සීමා විය. කෙසේ වුවත් එම දිනවල සාජා ක්‍රීඩාංගණ‍යේදීම පැවැති සෙසු තරගවලදී ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 119 ක් රැස්කිරීමට බංග්ලාදේශයත්, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 118 ක් රැස්කිරීමට එංගලන්තයත් සමත් විය.

“දැන් අපේ තරග දෙකක් ඉවරයි. තව තරග දෙකයි අපිට ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ වගේම දැන් අපිට අවසන් පූර්ව වටයට යන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒත් අපි බලන්න ඕන ඉතුරු තරග දෙක හොඳට ක්‍රීඩා කරලා ජයගන්න. නැත්නම් අපිට ආයෙමත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන්න කළින් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා.”  

“මූලිකවම කරන්න ඕන දේ තමයි මමත්, මාත් එක්ක ක්‍රීඩා කරන අනත් ක්‍රීඩිකාවත් මුල් ඕවර 6 ඇතුළත ලකුණු 45 කට වැඩියෙන් ලබාගන්න එක. මොකද හතරේ සීමාව දිගින් වැඩි නිසා අපිට පන්දු රකින්නියෝ යාර 30 සීමාවෙන් එහාට දැම්මට පස්සෙ හයේ සහ හතරේ පහරවල් ගහන්න ටිකක් අමාරුයි. ඒ නිසා මං අර කිව්ව මුල් ඕවර 6 ඇතුළත ලබාගන්න ලකුණු ප්‍රමාණය තරගය ජයගන්න හුඟක් වැදගත් වෙනවා.” යැයිද චමරි කියා සිටියාය.

චමරිගේ එම ප්‍රකාශයේ යම් සත්‍යතාවයක් පවතින අතර පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ මුල් ඕවර 6 ඇතුළත ලකුණු 26 කට කඩුලු 2 ක් අහිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේ මුල් ඕවර 6 තුළ ලකුණු 23 කට කඩුලු 2 ක් අහිමිකර ගත්හ. එම තරග‍ දෙකේදීම ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා එක්ව රැස්කර තිබුණේ ලකුණු 29 ක් පමණි.

“මට කියන්න බෑ ඩුබායි වලදි අපි ලකුණු 150 ක් විතර ගහයි කියලා. මොකද ‍ඒ තණතීරුත් අපි හිතන තරම් හොඳ නෑ. ඒත් සාජාවල තණතීරුවලට වඩා හොඳ ඇති කියලා මට හිතෙනවා. මොකද මම තරග කිහිපයක් දැක්කා සහ අපි එහෙ පුහුණුවීම් කළා. මම එහෙදි දැක්ක දේත් මේ තණතීරු අපි මුලින් දැක්ක තණතීරු වගේ නෑ කියන එක. මෙහෙට ආවට පස්සෙ අපි බලාපොරොත්තු වුණ‍ෙ හුඟක් ෆ්ලැට් තණතීරු. ඒත් ඒක එහෙම වුණේ නෑ.” යැයි චමරි සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය එළබෙන බඳාදා (9 වැනිදා) ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වේ. සහභාගි වූ පළමු තරගයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්ව සිටින ඉන්දියාවට තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා ‍එම තරගය ජයගැනීම ඉතා වැදගත් වනු ඇත. එබැවින් එම තරගයේදී කණ්ඩායම් දෙක අතර ඉතා තියුණු තරගකාරීත්වයක් බලාපෙ‍ාරොත්තු විය හැකිය. 


අදහස් (0)

අපිට මන්දගාමී තණතීරුවලට හුරු වෙන්න බැරි වුණා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.