Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන දෙවරක් දිනා ඇති එකම කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර (2022) ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ඇද දමමින් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට අයර්ලන්ත ක්‍රීඩකයෝ අද (21 වැනිදා) සමත් වූහ. මෙතෙක් පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 8 දී කොදෙව් පිල පළමු වටයෙන්ම ඉවතට විසිවූ දෙවැනි අවස්ථාවද මෙය විය.
සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා අද පැවැති තීර්ණාත්මක තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තය, එක් කඩුල්ලක් පමණක් දැවී පන්දු 15 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී වේගවත් පිතිහරඹය නිරත වූ ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 48 කින් නොදැවී ලකුණු 66 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
නායක ඇන්ඩෘ බැල්බර්නි (37) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටර්ලින්, ඉන් නොනැවතී ලෝකන් ටකර් (නොදැවී 45) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 61 කදී ලකුණු 77 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
අකීල් හෝස්නේගේ පන්දුවක් හමුවේ කයිල් මේයර්ස් අතට උඩ පන්දුවක් දෙමින් අයර්ලන්ත ඉනිමේ එකම කඩුල්ල ලෙස බැල්බර්නි දැවී ගියේය. පන්දු 23 කට මුහුණදුන් ඔහු හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 35 කදී වාර්තා වූ ටකර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්හ. කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත්වූ බ්‍රෙන්ඩන් කිං පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළේය. ලකුණු 27 කට කඩුලු 2 ක් බිඳවැටුණ අවස්ථාවේ එවින් ලුවිස් (13) සමග එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 39 කින් ලකුණු 44 ක් එක්කිරීමටද බ්‍රෙන්ඩන් සමත් විය.
ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක් රැස්කළ අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 12 කට මුහුණදුන් ඔඩේන් ස්මිත් නොදැවී ලකුණු 19 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
අයර්යන්ත කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ගැරිත් ඩෙලනි සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේය. එවින් ලුවිස් දවාගනිමින් තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳදැමූ ඩෙලනි, ඉන් නොනැවතී නායක නිකලස් පූරන් (13) සහ රෝමන් පවෙල්ද (6) පිටියෙන් ඉවත් කරමින් කොදෙව් ඉනිමේ මැද පෙළ අඩ පණ කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 146
(ජොන්සන් චාල්ස් 24, බ්‍රෙන්ඩන් කිං නොදැවී 62, ඔඩේන් ස්මිත් නොදැවී 19, ගැරිත් ඩෙලනි 16/3)
අයර්ලන්තය - ඕවර 17.3 කදී එක් කඩුල්ලකට 150
(පෝල් ස්ටර්ලින් නොදැවී 66, ඇන්ඩෘ බැල්බර්නි 37, ලෝකන් ටකර් නොදැවී 45)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.