Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්තය ඉනිමක පරාජයකින් ගැළවීමේ සටනක

අයර්ලන්තය ඉනිමක පරාජයකින් ගැළවීමේ සටනක

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තය සහ පාකිස්තානය අතර ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (13 වැනිදා) තරගය නතර කරන විට ඉනිමක පරාජයකින් ගැළවීම සටනක නිරතව සිටි අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 64 ක් ලබා සිටියේය.

තෙවැනි දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි එඞ් ජෝයිස් හතරේ පහර 5 ක් සමග ලකුණු 39 ක්ද, නායක විලියම් පොටර්ෆීල්ඞ් හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 130 කට සීමා කිරීමට මොහොමඞ් අබ්බාස් ප්‍රමඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී අයර්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ වග බලාගත්හ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් අබ්බාස් ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගත් අතර අයර්ලන්ත පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ශඩාබ් ඛාන් සහ මොහොමඞ් අමීර් පිළිවෙලින් කඩුලු 3 ක් සහ 2 ක් බැගින් දවාගත්හ.

අයර්ලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ කෙවින් ඕ’බ්‍රයන් හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක් රැස්කළ අතර ගැරී විලියම්සන් හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස්කළේය. පෝල් ස්ටයර්ලින් (17) සහ බොයිඞ් රැන්කින් (17) අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා ගිය සෙසු පිතිකරුවන් දෙදෙනා වූහ.

දෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටි පාකිස්තාන ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 42 ක් එක්කර ගත්හ. කඩුලු 9 ක් දැවී ලකුණු 310 ක් ලබා සිටියදි සිය ඉනිම අත්හිටවූ පාකිස්තාන කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 55 ක් ලබා සිටි ශඩාබ් ඛාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ටිම් මර්ටැග් සමත් විය. එම දැවී යෑමත් සමග ශඩාබ් සහ ෆාහීම් අෂ්ර්ෆ් (83) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු 117 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ෆාහීම් අෂ්ර්ෆ් ශතකයට ලකුණු 17 ක් පසුපසින් සිටියදී ස්ටුවට් තොම්සන්ගේ පන්දුවක් හමුවේ නීල් ඕ’බ්‍රයන් අතට උඩ පන්දුවක් දෙමින් ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. මොහොමඞ් අමීර්ටද (13) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර ටිම් මර්ටැග්ගේ පන්දුවක් හමුවේ නීල් ඕ’බ්‍රයන් අතට උඩපන්දුවක් ලබාදීමත් සමග ඔහුගේ ඉනිම නිමාවට පත්විය.

පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 310
(හාරිස් සොහේල් 31, අසාද් ශෆීක් 62, සර්ෆරාස් අහමඞ් 20, ශඩාබ් ඛාන් 55, ෆාහීම් අෂ්රෆ් 83, ටිම් මර්ටැග් 45/4, ස්ටුවට් තොම්සන් 62/3, බොයිඞ් රැන්කින් 75/2)

අයර්ලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 130
(කෙවින් ඕ’බ්‍රයන් 40, ගැරී විල්සන් නොදැවී 33, මොහොමඞ් අබ්බාස් 44/4, ශඩාබ් ඛාන් 31/3, මොහොමඞ් අමීර් 9/2)

අයර්ලන්ත දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 64
(එඞ් ජෝයිස් නොදැවී 39, විලියම් පොටර්ෆීල්ඞ් නොදැවී 23)

-036

 

 


අදහස් (0)

අයර්ලන්තය ඉනිමක පරාජයකින් ගැළවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.