Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අරුණ ඇතුළට - යුපුන් එළියට

අරුණ ඇතුළට - යුපුන් එළියට

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

මීටර් 400 (පිරිමි) ඉසව්වෙන්  ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට පැරිස් ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමට ශ්‍රී  ලංකා ක්‍රීඩක අරුණ දර්ශන සමත් විය. ඒ එම ඉසව්වෙන් නිර්දේශ  කර ගන්නා ක්‍රීඩකයන් 48 දෙනාගෙන්  47 වැනි ස්ථානයට පත්වීමෙණි.වසර 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලන් පසුව ශ්‍රී ලංකාව මෙම  මලල ක්‍රීඩා ඉසව්වෙන් ක්‍රීඩකයෙකු නිර්දේශ  ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.එහිදී එම අවස්ථාව හිමි කර ගෙන තිබුණේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම  මැදි දුර ධාවකයෙකු ලෙස සැළකෙන රොහාන් ප්‍රදීප් කුමාරයි.

අරුණ පැරිස් ඔලිම්පික්  තහවුරු  කර ගැනීමත් සමග විශේෂිතම සිදුවීම වූයේ ඔහු එසේ නිර්දේශ තහවුරු කර ගැනීමත් සමග පංගු ක්‍රමය ( වයිල්ඩ්  කාඩ්) ඔස්සේ මීටර් 100 (පිරිමි) ඉසව්වෙන්  පැරිස් ඔලිම්පික්  නිර්දේශ  අපේක්ෂාවෙන්  පසුවූ යුපුන් අබේකෝන්ට එය අත් හැර ගැනීමට සිදුවීමයි.

ඊට හේතුවූයේ මලල ක්‍රීඩා  පිරිමි  ඉසව්වකින් ශ්‍රී  ලංකාව නිර්දේශ  තහවුරු කර ගැනීමත් සමග  පංගු ක්‍රමය හෙවත් සුදුසුකම්  නොලත් ලේඛනයෙන් ක්‍රීඩකයන්ට ලැබෙන  සියළු  අවස්ථාවන් අහෝසිවීමයි.ඒ අනුව පැරිස් ඔලිම්පික් අපේක්ෂා තහවුරු කර ගැනීම සදහා දිවයිනට  පැමිණ සිටින යුපුන් එම අපේක්ෂා බිද වැටීමෙන් පසුව අද (8) පෙරළා නැවැත  ඉතාලිය බලා පිටත්ව යාමට සූදානමින් සිටි බව වාර්තාවේ.

කෙසේවුවත් අරුණ දර්ශනට අවස්ථාව  හිමි නොවූයේ නම් පංගු ක්‍රමය කෙරෙහි තවදුරටත් බලාපොරොත්තුවෙන් සිටි යුපුන් ලබන බදාදාට (10)  පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ධාවනයකටද සහභාගි වීමට සූදානමින් සිටියේය.

ඊට හේතු වූයේ පැරිස්  ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන්  දියගම මහින්ද රාජපක්ෂ  ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සදහා  ඉතාලියේ සිට මෙරටට පැමිණි යුපුන් මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව   වටයේ තරග වදිමින් සිටින අතර පාදයක ආබාධ  තත්වයක් උද්ගතවීමෙන් අතරමග ඉවත්වීමයි.

ඒ අනුව අරුණ  දර්ශණත් සමග ශ්‍රී  ලාංකික  මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනකු ශ්‍රේණිගත  ලකුණු ක්‍රමය ඔස්සේ  පැරිස් ඔලිම්පික්  නිර්දේශ  තහවුරු කර ගෙන සිටිති.ඒ තරුෂි  කරුණාරත්න  මීටර්  800 ( කාන්තා) ඉසව්වෙන්ද හා නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම  (කාන්තා) ඉසව්වෙණි.

ශ්‍රී ලංකා මලල  ක්‍රීඩා  ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන  මහතා පැවැසුවේ ඊයේ  වන විට පැරිස් ඔලිම්පික් නිර්දේශ  තහවුරුවෙන් තරුෂි කරුණාරත්න සිය ඉසව්වෙන් 48 වැනි (අවසන්)  ස්ථානයේ සිට 47 වැනි ස්ථානය දක්වාත් දිල්හානි  ලේකම්ගේ ඇගේ ඉසව්වෙන් 26 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වාත්  පියවරක් බැගින්  ඉදිරියට පැමිණ  සිටින බවයි.

1984 ලොස් ඇන්ජලිස්  ඔලිම්පික්  උළෙලන් පසුව  (සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකි) ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් උළෙලකට නිර්දේශ ලබාගත් අවම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන මෙවර වාර්තාවී තිබේ.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  තිදෙනා හැරෙන්නට බැඩිමින්ටන් හා පිහිනුම්  ක්‍රීඩා ඉසව් දෙකෙන්ද  ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුද  ( එකතුව 6 යි)  මෙවර පැරිස්  ඔලිම්පික්  සදහා  නිර්දේශවී සිටිති.කෙසේවුවත් 1988 සෝල්  ඔලිම්පික්  නිර්දේශ ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමටද ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු  ඇතුළත්ව තිබේ.

 


අදහස් (0)

අරුණ ඇතුළට - යුපුන් එළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.