Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් තරගය පෙනි පෙනී ගොඩමාන්න නවතී

අවසන් තරගය පෙනි පෙනී ගොඩමාන්න නවතී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ‘එෆ්. 2 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට දක්වා පැමිණි ශ්‍රී ලංකාවේ හර්ෂන ගොඩමාන්න එහිදී ඉතාලි ක්‍රීඩක පෙට්‍රෝන් ඇලෙක්සැන්ඩ්‍රෝ හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට වීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.

තරගාවලියට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු සහ දෙවැනි වට වලදීම තරගාවලියෙන් ඉවතට විසිවෙද්දී, හුදෙකලා ගමනක නිරත වුණ ගොඩමාන්න, එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව බවට පත්වෙමිනි. එහෙත් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 591 වැනි ස්ථානයේ පසුවන ඇලෙක්සැන්ඩ්‍රෝ හමුවේ පරාජයට පත්වීමත් සමග ඔහුගේ ගමන නිමා විය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 1-0 ක් ලෙස ඇමරිකානු ක්‍රීඩක නිකලස් බයිබල් පරාජය කරමින් ගොඩමාන්න අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගයේ පළමු වටයේ ලකුණු තත්ත්වය 4/1 ක් ලෙස තිබියදී නිකලස් බයිබල් අබාධයකට ලක්ව තරගයෙන් ඉවත් වීම නිසා ගොඩමාන්නට ඉන් වට 1-0 ක ජයක් හිමිවිය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව පලමු වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස (7/5, 2/6, 7/5) ඉතාලි ක්‍රීඩක ෆැබි්‍රසියෝ ඔර්නාගො පරාජය කරමින් දෙවැනි වටයට පැමිණි ගොඩමාන්න, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ එහිදී වට 2-1 ක් ලෙස (6/4, 4/6, 6/4) ඉන්දීය ක්‍රීඩක අභිනව් සංජීව් පරාජය කරමිනි.

යුගළ ඉසව්වේදී ශාමල් දිසානායක සමග එක්ව තරග වැදුණ ගොඩමාන්න එහිද අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය. එහෙත් අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ චන්ද්‍රිල් සූද් සහ ලක්ෂිත් සූද් හමුවේ වට 2-1 ක් ලෙස පරාජය වීම නිසා ඔවුන්ට යුගළ ඉසව්වෙන්ද ඉවත් වීමට සිදුවූහ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ස්පාඥ්ඥයේ කාර්ලෝස් බොලූඩා සහ මාරියෝ මාර්ටිනස් වට 2-0 ක් ලෙස පරාජය කරමින් ගොඩමාන්න සහ ශාමල් යුගළ ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6/2 ක් සහ 6/4 ක් ලෙසිනි.   

ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය කේවල ශූරතාව දිනාගැනීමට ස්පාඥ්ඥ ක්‍රීඩක කාර්ලෝස් බොලූඩා සමත් වූ අතර අවසන් මහ තරගයේදී ඉතාලි ක්‍රීඩක පෙට්‍රෝන් ඇලෙක්සැන්ඩ්‍රෝ වට 2-1 ක් ලෙස (3/6, 6/3, 7/6) පරාජය කරමින් බොලූඩා එම ශූරතාවට හිමිකම් කීවේය.

ඉන්දියාවේ චන්ද්‍රිල් සූද් සහ ලක්ෂිත් සූද් තරගාවලියේ යුගළ ශූරතාවට හිමිකම් කීවේ වට 1-0 ක් ලෙස ප්‍රංශයේ නිනෝ පෝර්ටලස් සහ රුසියාවේ ඇලෙක්සැන්ඩර් සූර්බින් පරාජය කරමිනි.

 


අදහස් (0)

අවසන් තරගය පෙනි පෙනී ගොඩමාන්න නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.