Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් පූර්ව තරග 27 දා ඇරඹෙයි
විස්සයි-20 ලෝක කුසලාන

අවසන් පූර්ව තරග 27 දා ඇරඹෙයි

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (27 වැනිදා) පෙරවරු 6.00 ට සහ පස්වරු 8.00 ට පැවැත්වීමට නියමිත අතර එහිදී පිළිවෙලින් දකුණු අප්‍රිකාවට එරෙහිව ඇෆ්ඝනිස්ථානයත්, ඉන්දියාවට ‍එරෙහිව එංගලන්තයත් තරග බිමට පිවිසීමට නියමිතය.

දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරගය ට්‍රිනිඩෑන්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවැනි අවසන් පූර්ව තරගය ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ දිවා තරගයක් ලෙසිනි.

සුපිරි 8 දෙනාගේ වටයේදී පළමු කාණ්ඩයේ ශූරයන් ‍බවට පත්වූ ඉන්දියාවත්, දෙවැනි කාණ්ඩයේ ශුරයන් බවට පත්වූ දකුණු අප්‍රිකාවත් අවසන් පූර්ව වටයට පිවිසියේ තරගාවලිය පුරා සිය අපරාජිත බව රැකගනිමිනි. එහෙත් එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අවසන් පූර්ව වටය දක්වා පැමිණි ගමනේදී තරග දෙක බැගින් පරාජයට පත්විය.

 මෙම තරගාවලියට අර්ධ අවසන් පූර්ව වටයටක් නොමැති වුවද, සුපිරි 8 දෙනාගේ වටයේ අවසන් කොටසේ තරග කිහිපයක්ම අර්ධ අවසන් පූර්ව තරගයන්ගේ ස්වරූපයන් ගත් බව දැකගත හැකි විය. ඊට හේතු‍ව වූයේ එම තරග ජයගත් කණ්ඩායම් අවසන් පූර්ව වටයට පිවිසීමත්, පරාජයට පත්වූ කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට විසිවීමත්ය.

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගය ඊට කදිම නිදසුනක් ලෙස සඳහන් කළ හැකිය. එම තරගයට පෙර දකුණු අප්‍රිකාව පිට පිටම තරග 6 ක් ජයගෙන සිටියද, එම තරගය පරාජය‍ට පත්වූවා නම් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබිණ.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයද එවැනිම ස්වරූපයක් ගත් අතර එම තරගය පරාජය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි විය. ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරග‍යද තීර්ණාත්මක තරගයක් වූ අතර බංග්ලාදේශය එම තරගය ඕවර 12 ක් තුළ ජයගත්තා නම් ඔවුන්ටද අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව තිබිණ.

කෙසේ වූවත් වට දෙකක් අවසානයේ දක්ෂ සහ සටන්කාමී කණ්ඩායම් හතරක් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. ඔවුන් අතරින් අවසන් පූර්ව වටයේදී ජය ලබන කණ්ඩායම් දෙක එළබෙන 29 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00 ට බාබඩෝස්හි‍ කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරග‍යේදී කුසලාන වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වනු ඇත.


අදහස් (0)

අවසන් පූර්ව තරග 27 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.