Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් මොහොතේ ගොට්සිගේ විජ්ජාව

අවසන් මොහොතේ ගොට්සිගේ විජ්ජාව

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

රියෝ ද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයට එක්වූ දහස් සංඛ්‍යාත පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂා  මැද අවසන් මහා තරගයේ රත්තරන් ගෝලය ගැසූ මාරියෝ ගොට්සි ලෝක කුසලාන පාපන්දු ශූරතාව ජර්මනියට හිමිකර දුන්නේය. වසර 24කට පසුවය.

තරගයේ නියමිත මිනිත්තු 90 දී ගෝලයක් වාර්තා කිරීමට දෙපිලම අසමත් වූ හෙයින් අතිරේක කාලයේ (113වැනි මිනිත්තුවේ දී) පිටියේ ඈත කෙළවර සිට අතිරේක ක්‍රීඩක ඇන්ඩෘ ෂූලර් විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයන් මුළා කරමින් රැගෙන ආ පන්දුව ගොට්සේට යොමු කළ අතර ඔහු එය සිය පපුවෙන් සාර්ථකව පාලනය කරගත්තේය. ඒ සමගම වම් පාදයෙන් ගැසූ පහර ආජන්ටිනා පාපන්දු ලෝලීන්ගේ හදවත් ඉරා දමමින් දැළ තුළට ඇදි ගියේය.

ඒ වනවිට අතිරේක කාලය නිමාවීමට ඉතිරිව තිබුණේ මිනිත්තු 7ක් පමණි. දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කිරීමට සිදුවෙතැයි ක්‍රීඩාලෝලීන් මෙන්ම ක්‍රීඩකයන් ද අපේක්ෂා කළ තරගය ගොට්සේ කණපිට හැරවූ‍‍යේ එලෙසිනි.

බර්ලින් තාප්පය බිඳ දමා ජර්මනිය එක්සේසත් කිරීමෙන් පසුව ජර්මනිය අත්කරගත් පළමුවැනි ලෝක කුසලාන පාපන්දු ශූරතාව ජර්මනියට දිනා දුන් මාරියෝ ගොට්සි තරගයට පිවිසියේ තරගයේ අන්තිම හරියේදීය. එතෙක් ඔහු අතිරේක ක්‍රීඩකයකු ලෙස බංකුවටවී සිටියේය.

ඒ අනුව ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් මහා තරගය ද අතිරේක ක්‍රීඩකයන්ගේ අණසකට යටත්වූ තරගයක් බවට පත්විය. මෙවර තරගමාලාව පුරාම වැඩිම දස්කම් පෙන්වා තිබුණේ අතිරේක ක්‍රීඩකයන් වීම කැපී පෙනුණි. ගෝට්සේගේ ගෝලය තරගමාලාවේ අතිරේක ක්‍රීඩකයෙක් ගැසූ 32 වැනි ගෝලය විය. ඒ අනුව සමස්ත තරගමාලාවේ 19% ක ගෝල ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ අතිරේක ක්‍රීඩකයන්ය. එය ද වාර්තාවකි. මෙවර තරගමාලාවේ වාර්තාවූ සියලුම ගෝල සංඛ්‍යාව 171කි.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර දෙපිලේම ක්‍රීඩකයන් කරට කර තරග කරමින් හරි හරියට කහ කාඩ්පත්වලට ද හිමිකම් කියන්නට වූහ. 30 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනාවේ ඉසිගුවෙල් ලැවෙසි යොමු කළ පන්දුව ගෝලයක් බවට පත් කළ ගොන්සාලෝ හිඟුවේන් උද්දාමයට පත්වූවත් සතුට ආ සැනින්ම මැකීගියේ පැති විනිසුරු එය ‘ඕෆ් සයිඩ්‘ ගෝලයක් බවට සංඥා කිරීමත් සමගය.

තරගය පුරා වැඩි අවධානයකට ලක්වූ ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී අවස්ථා කිහිපයකදීම ගෝලයක් ගැසීමට කුරුමානම් ඇල්ලුවත් ඒවා සාර්ථක වුයේ නැත.

ජර්මනියේ ගෝලය වාර්තා වීමෙන් පසුව තරගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ජර්මානු ක්‍රීඩකයකුගේ නීතිවිරෝධි බාධා කිරීමක් හමුවේ ආජන්ටිනාවට ගෝලයක් රැස් කිරීමේ අවස්ථාව සැලසෙමින් නිදහස් පහරක් එල්ල කිරීමේ අවසරය ලැබිණි. මිලියන ගණනාවක ආජන්ටිනා ක්‍රීඩාලෝලීන්ගේ හදගැස්ම මොහොතකට නවතාලීමට සමත්වූ ඒ පහරට මෙසී බොහෝ වේලා ඉලක්කය ගත්තේය. මීට එවැනි පහරවල් ඔහු ඕනෑතරම් ගහන්නට ඇත. එහෙත් මෙතරම් පීඩනයකට මෙසී පත්නොවූ බව නම් සහතිකය. පන්දුව ඔහු සිතුවාටත් වැඩිය ඉහළින් දැළට උඩින් ඇදී ගියේය.

තරගය අවසන් බවට විනිසුරු නලාව පිඹිනතුරු ජර්මානු ක්‍රීඩකයන් බලා සිටියේ නොඉවසිල්ලෙනි. අනතුරුව එය එකම රස සාගරයක් බවට පත්විය. ක්‍රීඩකයන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරු ද, දූ දරුවන් ද පෙම්වතියන් ද හරි හරියට ඔවුන් හා සතුට බෙදා හදා ගනිද්දී අනුශූරයන් බවට පත්වූ ආජන්ටිනාවේ නායක මෙසී ඇතුලු සෙසු ක්‍රීඩකයන් කඳුළු සලමින් බලා සිටියහ.

දකුණු අමෙරිකා රටකදී යුරෝපා රටක් ලෝක පාපන්දු ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙය විය. අවසන් තරගය නැරැඹීමට සත්කාරක බ්‍රසීලයේ ජනාධිපතිවරයා මෙන්ම ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් ද පැමිණ සිටි අතර ඔවුන් ත්‍යාග ප්‍රදානෝත්සවයට  ද එක්වූහ. ත්‍යාග ප්‍රදානය සිදුවූයේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝෂප් බ්ලැටර් අතිනි.

ආජන්ටිනා නායක මෙසී තරගාවලියේ වීරයා ලෙස තෝර ගත් අතර ඔහුට ‘රන් පාපන්දුව‘ සම්මානය හිමිවිය. තරගාවලිය පුරා දැල් රැකිමෙන් විශිෂ්ට දස්කම් පෑ ජර්මනියේ මැනුවෙල් නෝයර් ‘ගෝල්ඩන් ග්ලව්‘ සම්මානය දිනාගත්තේය. සැවොම පුල පුලා බලා සිටි ‘ගෝල්ඩන් බූට්‘ නොඑසේ නම් රන් සපත්තුව හිමිවූයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ගැසූ කොලොම්බියාවේ ජේම්ස් රොඩ්‍රිගුවස්ටය. ඔහු තරගාවලිය පුරා ගෝල් 6ක් ගසා තිබිණි.

දැන් ඉතින් ලෝක පාපන්දු ශූරයන් ජර්මානුවන්ය. එය තවත් වසර 4කට හොල්ලන්නට බැරිය.


අදහස් (3)

අවසන් මොහොතේ ගොට්සිගේ විජ්ජාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.