Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අසලංක - අවිශ්ක කුසලානය කොළඹට ගෙනෙති
ජාතික සුපිරි ලීගය - 2024

අසලංක - අවිශ්ක කුසලානය කොළඹට ගෙනෙති

editorial - 2024 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දඹුල්ලේදීම පැවැත්වීමට නියමිත, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි විස්සයි-20 තරගාවලිය අත පොවන දුරින් තිබියදී, දඹුල්ල ක්‍රීඩාංගණයේදී ගිනිකෙළි සංදර්ශනයක් නිර්මාණය කළ චරිත් අසලංක (206) සහ අවිශ්ක ප්‍රනාන්දු (126) ජාතික සුපිරි ලීග් තරගාවලියේ එක්දින ශූරතාව කොළඹට දිනා දුන්හ. අද (6 වැනිදා) රාත්‍රියේ පැවැති අවසන් මහ තරගයේදී කොළඹ ක්‍රීඩකයෝ යාපනය පිල ලකුණු 92 කින් පරාජය කළහ. 

කාසියේ වාසිය දිනාගත් කොළඹ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේය. එහෙත් කුසල්ලා දෙදෙනාම (කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා) ලකුණු 04 ක් ඇතුළත දැවී ගියහ. එතැනින් පිටියට පිවිසි අසලංක, ආරම්භක පිතිකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දු සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 262 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් නොසිතූ විරූ ලකුණු වේගයක් නිර්මාණය කළහ. 

හයේ පහර 16 ක් සහ හතරේ පහර 12 කින් සමන්විත අසලංකගේ ද්විත්ව ශතකයත් හයේ පහර 6 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත අවිශ්කගේ ශතකයත් යාපනය පන්දු යවන්නන්ට ක්‍රිකට් ක්‍රීඩාව එපා කරවන්නක් විය. දෙදෙනා අතර පැවැති ලකුණු 262 ක සම්බන්ධතාවෙන් ලකුණු 220 ක් ම පැමිණියේ හයේ  සහ හතරේ පහර වලිනි. මෙම ලකුණු 262 වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 206 කට පමණි. 

ඉනිමේ 37 වැනි ඕවරය නිමාවේදී අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියත් පසුව පැමිණි නුවනිඳු ප්‍රනාන්දු (20) සහ දසුන් ශානක (නොදැවී 39) කිසිදු අනුකම්පාවකින් තොරවම ලකුණු ලබාගත් හෙයින් කොළඹ පිලට ලකුණු 400 කඩඉම පසුකළ හැකිවිය. දසුන්ගේ ලකුණු 39 ට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ. 

ලකුණු 414 ක අසීරු ඉලක්කයක් කරා ගිය යාපනය පිතිකරුවන්ට ඕවරයකදී ලකුණු 8.28 ක දළ වේගයක් අවශ්‍ය වූ නමුත් 20 වැනි ඕවරය නිමා වන විටත් ඔවුන්ගේ ලකුණු වේගය යන්තම් 6.4 ඉක්මවා තිබිණ. ඒ වනවිටත් තරගයේ විසඳුම කුමක් ද යන්න පැහැදිළිව තිබුණද, තරගයේ නිමාව කොතැනද යන්න පිළිබඳව කුකුසක් ඉතිරි වී තිබිණ. 

මේ අතරවාරයේදී පිත්තෙන් හොඳ දස්කම් පෙන්වූ ළහිරු මධුශංක, පන්දු 86 කින් ලකුණු 104 ක් ලබාගත්තේය. එයින් තරගයේ තීරණයට කළ හැකි එකම බලපෑම වූයේ පරාජයේ මායිම කෙටි කිරීම පමණි. 

ශ්‍රී ලංකාවේ දේශීය සීමිත ඕවර තරගාවලියක අවසන් මහ තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් එකම පිතිකරුවා වන චරිත් අසලංක, ලකුණු 52 කට කඩුලු 2 ක් ද දවාගනිමින් පහසුවෙන්ම තරගයේ වීරයා සම්මානය ඩැහැගත්තේය. 


කොළඹ - ඕවර 50 කදී කඩුලු 6 ට 413 යි
(අවිශ්ක ප්‍රනාන්දු 126, චරිත් අසලංක 206, නුවනිඳු ප්‍රනාන්දු 20, දසුන් ශානක නොදැවී 39, මතීෂ පතිරණ 85/2, ළහිරු මධුශංක 77/2)

යාපනය - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 321 යි
(සඳුන් වීරක්කොඩි 13, රොන් චන්ද්‍රගුප්ත 56, ජනිත් ලියනගේ 16, මොහොමඩ් ශමාස් 49, ළහිරු මධුශංක 104, රන්මිත් ජයසේන 22, ඉසිත විජේසුන්දර 19, ජෙෆ්රි වැන්ඩසේ 17, නුවන් තුෂාර 62/2, දිලුම් සුධීර 53/3, දසුන් ශානක 67/2, චරිත් අසලංක 51/2)


අදහස් (0)

අසලංක - අවිශ්ක කුසලානය කොළඹට ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.