Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අළු යට ගිනි යළි මතුවෙයි

අළු යට ගිනි යළි මතුවෙයි

ශනුක අරවින්ද - 2015 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

වසර දෙකකට ඉහතදී (2013) පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයේදී තමන්ගේ කීර්තිනාමය පළුදු කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් හිතාමතාම, සැලසුම් සහගතව කටයුතු කර ඇතැයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර කියයි.

මෙම තත්ත්වය ඇතිකිරීම සඳහා ඒ වන විට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාත් වගකිව යුතු යයිද නවසීලන්තයේ සිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලිපියක් (විද්යුත් තැපැල් මගින්) ලියමින් සංගක්කාර කියා සිටී.

වසර එක හමාරකට පමණ පසුව මෙම අර්බුදය නැවතත් ඉස්මතු වී ඇත්තේ ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට එවන ලද ලිපියක් තමන් වෙත යොමු නොකිරීම පිළිබඳව ඇතිවූ කතාබහකදීය.

එංගලන්ත පිල ශී‍්‍ර ලංකාවේදී එක්දින තරගාවලියකට සහභාගි වූ පසුගිය ඔක්තෝබරයේදී මෙම කතාබහ නැවතත් ඉස්මතු වූ බවත් දැනගන්නට තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පුහුණුවීම් කරමින් සිටියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියකුගෙන් සංගක්කාර කළ විමසීමකදී එම නිලධාරියාට උත්තර නොමැතිව යාම නිසා තරමක වචන හුවමාරුවක් සිදුවූ බවත් දැනන්නට තිබේ. කෙසේ වෙතත් අදාළ නිලධාරියා එම අවස්ථාවේදී සංගක්කාරගේ පැනයට පිළිතුරු දී නැත්තේ පරිපාලනමය හේතූන් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු උපදෙස් පිළිපැදීම නිසා බවද දැනගන්නට ඇත.

සංගක්කාර නවසීලන්තයේ සිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට එවන ලද ලිපියෙන් කියැවෙන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීම පිළිබඳව තේරීම් කමිටු සභාපතිවරයා තමන්ට එවන ලද ලිපිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් විසින් වසන් කර තබාගත්තා පමණක් නොව, ජනතාව අතර තිබූ තමන්ගේ ප‍්‍රතිරූපය විනාශ කිරීම සඳහාත් සැලසුම් සහගතව කටයුතු කළ බවයි.

එබැවින් කල් පමාවී හෝ, අදාළ ලිපිය තමන්ට ඉතාමත් ඉක්මනින්ම යොමු කරන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට්  නිලධාරියකුගෙන් සංගක්කාර විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඉල්ලා තිබේ.

”මට මේ ගැන එන්න පුළුවන් නිගමනය මේකයි. මේකට සම්බන්ධ සියලූම පාර්ශ්වයන්, නිශාන්ත රණතුංග මහතා සහ කී‍්‍රඩා ඇමතිවරයාව සිටි මහින්දානන්ද අලූත්ගමගේ මහතාත් ඇතුළුව, මාව අන්තර්ජාතික වශයෙන් අපහසුතාවට පත්කරන්න උත්සාහ කළා. මගේ ප‍්‍රතිරූපය විනාශ කරන්න උත්සාහ කළා”

”නිශාන්ත රණතුංග මහතා පුවත් පත් සාකච්ඡුාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් කතාකරන්නේ කොහොමද? ශූරයන්ගේ කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් එවන් ප‍්‍රශ්නයක් පැන නොනගින අවස්ථාවකදීත්  මුදල් හෝ රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීම මා තෝරාගත යුතු යයි කියමින් මා පීඩනයට ලක්කරන්නේ ඇයි?” යයිද සංගක්කාර සිය විද්යුත් ලිපියෙන් විමසා තිබිණ.

දෙසැම්බර් 15 දා ආරම්භ වන මෙම විද්‍යුත් තැපැල් සංවාදය ජනවාරි 21 දා තෙක්ම දිවයන අතර, එම සංවාදයට කුමාර් සංගක්කාර සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිළධාරීන් කිහිපදෙනකුද එක්ව තිබෙන බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් ජනවාරි මස 21 දා තෙක්ම සංගක්කාර වෙත අදාළ ලිපිය යොමු කිරීමට අදාළ නිලධාරියා පියවර ගෙන නැත්තේ ඔහුට ඉහළින් ලැබුණු උපදෙස් අනුවය. අවසන් වරට ඔහු සංගක්කාරට පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගෙන් අවසර ලැබෙන්නේ නම් පමණක් අදාළ ලිපිය සංගක්කාරට යැවිය හැකි බවයි.

මේ අතර අදාළ ලිපිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාරට තොරතුරු ලැබුණ ආකාරය හෙළිදරව් කරගත යුතු බවද කි‍්‍රකට් නිලධාරීහු කියා සිටිති. එහෙත් සංගක්කාර පවසන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් ලිපියක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට යවා ඇති බව ජාතික තේරීම් කමිටුවෙන් සහතික කළ බවයි.

”එහෙනම් ඒ ගැන තේරීම් කමිටුවෙන් අහගන්න” යයි සංගක්කාරට ලැබෙන එක පිළිතුරකි. එහෙත් වමත් පිතිකරුවා ඒ පිළිතුරෙන් මෙල්ල නොවේ
”ඔබ මේ කාරණාව තව කෙනෙකුට යොමු කරන්නේ ඇයි? මම අහන්නෙ ඉතාමත් සරළ ප‍්‍රශ්නයක්”

”මාව අයි. පී. එල්. කණ්ඩායමට නිදහස් කිරීමට අදාළ ලිපිය ඔබට ලැබුණාද නැද්ද?” යයි සංගක්කාර විමසයි. ඉන් අනතුරුව විවාදයට ගැනෙන්නේ පසුගිය වසරේදී වූ  සිදුවීමකි.

වසර 2014 දී පැවැති දේශීය වි:20 තරගාවලිය වූ ‘සුපර් ෆෝස්’ ශූරතාව දිනාගත් ‘සදර්න් එක්ස්ප‍්‍රස්’කණ්ඩායමේ නායකත්වය දැරුවේ ලසිත් මාලිංගය. ශූරයන්ගේ ලීග් තරගාවලියට ගියේත් ලසිත් මාලිංගගේ ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ පිලයි. එහෙත් 2014 ශූරයන්ගේ ලීග් තරගාවලියේදී ලසිත් මාලිංග නියෝජනය කළේ ‘සදර්න් එක්ස්ප‍්‍රස්’ පිල නොව අයි. පී. එල්. තරගාවලියේදී ඔහුගේ කණ්ඩායම වූ මුම්බායි ඉන්දියන්ස් පිලයි.

2014 ශූරයන්ගේ ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට ලසිත් මාලිංගට නිදහස ලැබුණ බවත්, ඒ සඳහා අවසරය ඔහුගේ අතටම ලැබුණ බවත් සංගක්කාර පෙන්වාදී තිබේ. එසේ නම් යථෝක්ත තරගාවලියට සහභගිවීම සම්බන්ධයෙන් තමන් ගැන සඳහන් ලිපියක් නොලැබීමට හේතුව තමන් දැන ගත යුතු බවත් මේ ප‍්‍රශ්නයේදී කි‍්‍රකට් නිලධාරීන් යමක් සැඟවීමට උත්සාහ කරන බවත් සංගක්කාර පවසයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග සහ සනත් ජයසූරිය යන මහත්වරුන් මාධ්‍ය සාකච්ඡවක් පවත්වා මුදල් හෝ රට යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස තමන් පීඩනයට ලක්කළ බවත් සංගක්කාර පවසයි.

”මෙවැනි පීඩනයක් අනෙකුත් ක‍්‍රීඩකයන්ට යොමු නොකළේ ඇයි?” යයි සංගක්කාර විමසයි.

මේ සියලූ තොරතුරු සම්පිණ්ඩනය කරමින්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සහ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාද ඇතුළුව සියල්ලන්ම හිතාමතාම තමන්ව පීඩනයට ලක්කිරීමටත්, ජනතාව අතර තමන්ට ඇති ප‍්‍රසාදය නැති කිරීමට කටයුතු කළ පවසන සංගක්කාර එය ලැජ්ජා සහගත ක‍්‍රියාවක්  බවත් පවසා තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විසීමකදී රණතුංග මහතා පවසා සිටියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන මේ අවස්ථාවේදී කී‍්‍රඩකයන්ගේ සූදානමට බලපෑමක් විය හැකි කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවත් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මෙම චෝදනාවන්ට නිසි පිළිතුරු දෙන බවත්ය.

”ඒත් එකක් කියන්න  ඕනා”

”අයි. පී. එල්. තරග සංවිධායකයන්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කී‍්‍රඩකයන් අතර ඇතිකරගන්නා තුන් ඈඳුණු ගිවිසුමේ තියෙන විදිහට ශූරයන්ගේ ලීග් තරගාවලියේදී තමන් කී‍්‍රඩා කරන්නේ කුමන කණ්ඩායමටද කියන එක ගැන අවසන් තීරණය ගන්නේ කී‍්‍රඩකයාමයි. ඒත් පාලක මණ්ඩලයක් හැටියට අපේ කැමැත්ත තියෙන්නේ අපේ කී‍්‍රඩකයෙක් අපේ කණ්ඩායම නියෝජනය කරනවානම් හොඳයි කියන එකයි”

”ඒ කෝක වුණත් පුවත් පත් සාකච්ඡ තියලා ‘සල්ලිද රටද කියන දෙකින් එකක් තෝරගන්න’ කියල නම් කි‍්‍රකට් ආයතනයේ අපි කවුරුවත් කිව්වේ නෑ. ඒක මම වගකීමෙන් කියනවා” යයිද නිශාන්ත රණතුංග මහතා පැවසීය.


අදහස් (3)

අළු යට ගිනි යළි මතුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.