Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආදරවන්තයන්ගේ සටනට රිච්මන්ඩ් - මහින්ද කඹ ඇදීමක්
මහ ක්‍රිකට් තරග

ආදරවන්තයන්ගේ සටනට රිච්මන්ඩ් - මහින්ද කඹ ඇදීමක්

editorial - 2025 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

“ආදරවන්තයන්ගේ සටන” යන විරුදාවලිය ලැබූ රිච්මන්ඩ් - මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරඟය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. වෙනත් පාසලක ක්‍රීඩකයකු මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන මත ගැටුමක් ඊට හේතු වී තිබේ.

වසර 119 ක් පුරා පවත්වා ඇති මෙම තරඟය මෙවර පැවැත්වීමට සංවිධානය කර ඇත්තේ 120 වැනි වතාවටය. එය දින තුනක තරඟයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 03, 04 සහ 05 දිනවල පැවැත්වීමට නියමිතය.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට අවසන් මොහොතේ වෙනත් පාසලක ක්‍රීඩකයකුගේ නමක් ඇතුළත් කර ඇතැයි පවසමින් රිච්මන්ඩ් විද්‍යාලය එම සිසුවා කණ්ඩායමෙන් ඉවත් කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර මහින්ද විද්‍යාලයට ඒ බව ලිඛිතව ද දැනුම් දී ඇත. නමුත් මහින්ද විද්‍යාලය පවසන්නේ එම සිසුවා මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ සියලු තරඟ නීති රීති අනුව බවයි.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට අවසන් මොහොතේ නම ඇතුළත් කර ඇති බව පවසන්නේ ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ක්‍රීඩකයකුගේ වන අතර රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩයමේ ද වෙනත් පාසල්වලින් එම පාසලට ගෙන්වාගත් ක්‍රීඩකයන් 06 දෙනකු සිටින බව මහින්ද විද්‍යාලයීය පාර්ශ‍වයෙන් පෙන්වා දී ඇත.

ඒ අතර මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයකු ද පසුගිය වසරේ මහ ක්‍රිකට් තරගය ආසන්න වෙද්දී රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත්ව, පසුගිය වසරේ මහ තරගයේදීත් රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කර තිබේ. ඔහු මේ වසරේදීත් රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරයි.

කෙසේ වෙතත් රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රකාශකයකු අපට මෙසේ කීවේය.

“අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර වෙනත් පාසල්වල ක්‍රිකට් දක්ෂතා දක්වා අප පාසලට පැමිණි ක්‍රීඩකයන් 06 දෙනෙක් ඉන්නවා. ඒක ඇත්ත. අපි ඒ අය පසුගිය පාසල් ක්‍රිකට් තරඟාවලියට රිච්ම්න්ඩ් නාමය යටතේ ලියාපදිංචි කරලා සෙල්ලම් කෙරෙව්වා. නමුත් මහින්ද විද්‍යාලය ඇලුවීෂියස් විද්‍යාලයේ නම යටතේ ලියාපදිංචි ක්‍රීඩකයෙක් මෙවර මහා තරඟයට සෙල්ලම් කරවනවා. එයා මහින්දය වෙනුවෙන් කිසිම තරඟයකට සෙල්ලම් කරලා නෑ. මේ මහා ක්‍රිකට් තරඟය 2025 වර්ෂයේ දී දින 03ක් දක්වා දීර්ඝ කරන නිසා අපි එකඟතාවකට ආවා දෙසැම්බර් 31 දක්වා මොන දවසක තරඟය පැවැත්වුණත් මේ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් නිසි වයස ඉක්මවා ගියත් සෙල්ලම් කරන්න අවස්ථාව දෙනවා කියා. එතෙන්ට අලුතෙන් ක්‍රීඩකයන් ආදේශ කරන්න බෑ.”

එම ලිඛිත එකඟතාව අපට ලබාදිය හැකිදැයි රිච්මන්ඩ් විද්‍යාලයීය ප්‍රකාශකයාගෙන් විමසූ විට එය ලබාදීමට ඔහු එකඟ වූයේ නැත.

කෙසේ වෙතත් මාර්තු 30 වැනිදා සවස මහින්ද විද්‍යාලයීය විදුහල්පතිවරයා වෙත පිටු දෙකකින් සමන්විත ලිපියක් යැවා ඇති රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවා මහතා එම ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ ඇලුවීෂියස් විද්‍යාලයේ සිට මෑතකදී මහින්ද විද්‍යාලයට ඇතුළත් කර ඇති සිසුවා ක්‍රීඩා කරන්නේ නම් මෙම තරඟයට රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම සහභාගී නොවන බවයි.

මේ පිළිබඳ අප මහින්ද විද්‍යාලයෙන් කරන ලද විමසීමක දී ඔවුන් කියා සිටියේ මෙවර “ආදරවන්තයන්ගේ සටන” මහා ක්‍රිකට් තරඟයේ සත්කාරකත්වය දරන්නේ මහින්ද විද්‍යාලය බැවින් මේ වනවිට තරඟය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි ක්‍රිකට් තරඟයට සමගාමීව පැවැත්වෙන සුහද විවාදය, රථ සංචාර, ධජ දැමීම්, ආදි ශිෂ්‍ය තරඟය, මහා තරඟයෙන් පසු පැවැත්වෙන දෙවිදුහල් අතර සීමිත පන්දුවාර තරඟය ආදී සියලු ඉසව් සංවිධානය කර අවසන්. මෙයින් රිච්මන්ඩ් මහින්ද සුහද විවාදය 31 වැනිදා මහින්ද විද්‍යාලයීය ඔල්කොට් ශාලාවේ දී පැවැත්වුණා. නමුත් එහි ඉංග්‍රීසි විවාදයට රිච්මන්ඩ් කණ්ඩායමට එන්න බැරිවුණා උසාවියේ වාරණ නියෝගයක් නිසා. දැන් මේ වනවිට ආදි ශිෂ්‍ය තරඟයත් සූදානම්. මහා තරඟයේ විනිසුරුවරුන් තෝරාගත්තා. එය පවා අනුමත කර රිච්මන්ඩ් විදුහල්පති අපට එවා තිබෙනවා. අපේ කණ්ඩායම තරඟයට යනවා. ඔය ප්‍රශ්නගත ළමයා ක්‍රීඩා කිරීම නීති විරෝධී නැහැ. ඒක එයාලගේ අදහස. “

“අපේ පාසල වෙනුවෙන් සෙල්ලම් කරන කණ්ඩායම තීරණය කරන්නේ අපේ විද්‍යාලය මිසක් රිච්මන්ඩ් විද්‍යාලය නෙවෙයි. ගමේ වෙල් එළියේ අරයා සෙල්ලම් කරනවා නම් මම එන්නේ නෑ කියලා තරහවෙලා යන කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි අපි කරන්නේ ජාත්‍යන්තර පිළිගත් තරඟයක්. අපි තරඟයට යනවා. ප්‍රතිවාදීන් ආවේ නැත්නම් ඒක ඒ වෙලාවට බලමු.”

රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර ඇති ගිවිසුමක් ගැන රිච්මන්ඩ් විද්‍යාලයීය පාර්ශ්වය දිගින් දිගටම පවසන බැවින් ඒ පිළිබඳ විමසූ විට මහින්ද විද්‍යාලය පැවසුවේ එවැනි ගිවිසුමක් ඇත්නම් ඉදිරිපත් කරන්න යැයි රිච්මන්ඩ් විද්‍යාලයට දැනුම් දී ඇති බවයි. එවැනි ගිවිසුමක් ඇත්නම් එය විදුහල්පති දෙපළගේ අත්සනින් තිබිය යුතු බවත් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙම තරඟය සම්බන්ධ ඒකාබද්ධ ක්‍රිකට් කමිටුවේ දී අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් තරඟයට නොපැමිණෙන බව පවසන රිච්ම්න්ඩ් විද්‍යාලයීය පාර්ශවයෙන් එවැනි ගිවිසුමක් මෙතෙක් ඉදිරිපත් කර නැත.


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටනට රිච්මන්ඩ් - මහින්ද කඹ ඇදීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.