Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරම්භක පිතිකරුවා වීම පහසුවක් - තිරිමාන්න

ආරම්භක පිතිකරුවා වීම පහසුවක් - තිරිමාන්න

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දිගින් දිගටම පැවැති එක්දින තරග 20 කට ආසන්න සංඛ්‍යාවකදී ආරම්භක පිතිකරුවන් තිදෙනකු පරීක්‍ෂාවට ලක්කළ නමුත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තෝරාගන්නා ලද ශී‍්‍ර ලංකා සංචිතයේ ආරම්භක පිතිකරුවා වූයේ දිමුත් කරුණාරත්නය. එහෙත් නවසීලන්ත පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී අසාර්ථක වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කිරීමේ වගකීම ළහිරු තිරිමාන්නගේ කරපිට පැටවිණ.

ලෝක කුසලාන තරගවලියට සාර්ථක ආරම්භයක් ලබාගත් තිරිමාන්න පන්දු 60 කදී ලකුණු 65 ක් ලබාගත්තේ තිලකරත්න ඩිල්ෂාන් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ගොඩනංවමිනි.

ලෝකය වටා සම්පූර්ණ වටයක් ගමන්ගන්නා කිසිවකු නැවතත් ආරම්භක ස්ථානයට පැමිණෙන්නාක් මෙන්ම තිරිමාන්න යළිත් ආරම්භක පිතිකරුවාගේ ස්ථානට පැමිණ නතර වී තිබේ. තිරිමාන්න පවසන්නේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයේ කී‍්‍රඩා කිරීම තමන්ගේ කී‍්‍රඩාවට වඩාත් හිතකර මෙන්ම තමන්ටද පහසු බවයි.

”මා පන්දුවට පහර දෙන විදිහ බලන්න. මා හිතන්නේ පිිතිකරු ලයිස්තුවේ ඉහළින් එනවා නම් මට මීට වඩා දෙයක් කරන්න පුළුවන්...”

”මා අංක 6 ස්ථානයේත් කී‍්‍රඩා කරලා තියෙනවා...සමහර වෙලාවට හොඳින් කී‍්‍රඩා කළත් මා එසේ කී‍්‍රඩා කරන්නේ මගේ පිතිහරඹ රටාව වෙනස් කරමින්”

”බොහෝ අවස්ථාවලදී මගේ පිතිහරඹ තාක්‍ෂණය පවා වෙනස් කරන්නට වෙනවා....ඒත් පිතිකරු ලයිස්තුවේ ඉහළින් පන්දුවට පහර දෙද්දී මූලික දේවල් කරමින් මට ලැබෙන අවස්ථාව හොඳින් ප‍්‍රයෝජනයට ගන්නවා” යයි ළහිරු තිරිමාන්න කියයි.

කෙසේ වෙතත් පිතිකරු ලයිස්තුවේ පහළින් පහර දුන් අවස්ථාවලදී ලබාගත් අත්දැකීම් වෙනත් ස්ථාන වලදී පන්දුවට පහර දෙන විට තිරිමාන්නට බොහෝ ප‍්‍රයෝජනවත් විය. තිරිමාන්න පමණක් නොව, රොෂාන් මහානාම, අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනත් එතරම් විශිෂ්ට පිතිකරුවන් වූයේ මෙම අත්දැකීම් සම්භාරයම කරපින්නාගෙන තම තමන්ගේ ස්ථානවල ස්ථාවර වීම හේතුවෙනි.

”පිටියට යන විට තරගයේ තියෙන තත්ත්වය අනුව, පන්දුවට පහර දෙන්න ඉතිරි වෙලා තියෙන්නේ  ඕවර 10 යි නම් ඒ කාලය ඇතුළත පහර කිහිපයක්ම යොදාගන්න වෙනවා”

”ඒ වෙලාවට පැඞ්ල් ස්වීප්, ඉහළින් ගහන ඒවා වගේ පන්දුව එන එන විදිහට ගහනවා මිසක් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. ඒත් ඒකෙන් වෙන්නේ මගේ පිතිහරඹයට තව තවත් පහර එක්වීමයි” යයිද නවසීලන්තයේ ඩනෙඩින් නුවරදී තිරිමාන්න පැවසීය.

එහෙත් ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙන කල්හි අවස්ථාවේ හැටියට විකල්ප තෝරාගැනීමේ ඉඩහසර තිරිමාන්නට තිබේ.

පළමු  ඕවර 10 න් ලකුණු 60 ක් පමණ ලබාගනිමින්, හොඳ ආරම්භයක් ලබාගන්නා අවස්ථාවකදී  ඕනෑම කණ්ඩායමක ඉලක්කය වන්නේ ලකුණු 300 ක් හෝ 350 කි. එහෙත් ඉක්මනින් කඩුලූ දැවී ගියහොත් ලකුණු 300 ක් කරා යා නොහැකි අවස්ථා එමට තිබේ. එවන් අවස්ථාවකදී ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ඉතාමත් තීරණාත්මක වෙයි.

”එවන් අවස්ථාවකදී කළ යුත්තේ කෙසේ හෝ ලකුණු පුවරුව කි‍්‍රයාත්මකව තැබීම මිස විශාල පහරකට යාම නොවෙයි. ඒ වෙනකොට ඇද වැටෙමින් තියෙන කඩුලූ ටික වෙලාවකදි ලකුණු බවට හැරේවි” යයිද තිරිමාන්න කියයි.

තිරිමාන්නගේ පන්දුවට පහර දීමේ විලාසය අනුව එක්දින තරග වලදී ඔහුට විශාල වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවක් නැත. තරගය පැවැත්වෙන ස්ථානය සහ තරගයේ තත්ත්වය අනුව සුළු වශයෙන් වෙනස්වීමේ නොහැකියාවක්ද තිරිමාන්නට නැත.

”ඔයා පන්දුවට පහර දෙන විදිහට ගොඩාක් වෙනස් වෙන්න යන්න එපා. ඒත් වෙලාව ආවම අවශ්‍ය විදිහට විතරක්, පොඞ්ඩක් වෙනස් වෙන්න” යයි කුමාර් සංගක්කාර වරක් තිරිමාන්නට කියා තිබිණ.

මහේල ජයවර්ධන ඔහුට කියා තිබුණේ දග පන්දු යවන්නන්ට මුහුණ දීමේදී පාදය පිහිටන ස්ථානය තරමක් සීරුමාරු කරගන්නා ලෙසයි. එයින් තිිරිමාන්නට විශාල ප‍්‍රයෝජන ලැබුණු අතර පිට ඉන්න එල්ලයේ එන පන්දු වඩාත් පහසුවෙන් පාලනය කරගත හැකිවිය.

”කුමාර් අයියාගේත් මගේත් පන්දුවට පහර දීමේ තාක්‍ෂණය බොහෝ දුරට එක වගේ කියලයි හුගාක් අය කියන්නේ. ඒත් කුමා අයියා ඉන්නේ මට වඩා ගව් ගාණක් ඉස්සරහින්.....ඒ හින්දා ඔවුන් කියන දේ මට හරිම වැදගත්” යයිද තිරිමාන්න කියයි.

”අපි කාලයක් තිස්සේ එකට කී‍්‍රඩා කළා. මේ වන විට අපිත් යම් තරමක් දුරට පැමිණ තියෙනවා වගේම අපෙන් අපේක්‍ෂා කරන්නේ මොනවාද කියන එකත් දන්නවා”

”පිතිකරුවන් වශයෙන් අපි ඇන්ජලෝට ශක්තියක් විය යුතුයි. මාත් චන්දිත් (දිනේෂ් චන්දිමාල්) දිමතුත් අපේ වගකීම බාර අරගෙන මේ කණ්ඩායම ඉදිරියට ගෙන යා යුතු බව අප දන්නවා” යයිද තිරිමාන්න කියයි.


අදහස් (1)

ආරම්භක පිතිකරුවා වීම පහසුවක් - තිරිමාන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.