Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇමරිකානු විවෘත ශූරතාවට පරම්පරා ගැටුමක්

ඇමරිකානු විවෘත ශූරතාවට පරම්පරා ගැටුමක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතාව හය වතාවක් දිනාගත් සෙරීනා විලියම්ස් සහ ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු ජපන් ක්‍රීඩිකාව වන නයෝමි ඔසාකා මෙවර එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති. එකිනෙකා අතර අවුරුදු 16 ක පරතරයක් ඇති මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා අතර අවසන් මහ තරගය හෙට (8 වැනිදා) පැවැත්වේ.

අවසන් පූර්ව තරගයේදී ඇන්ස්ටාසියා සෙවැටෝවා පරාජය කරමින් ඇමරිකානු විවෘත තරගාවලියේ අවසන් මහ තරගයට විලියම්ස් සුදුසුකම් ලබාගත්තේ 9 වැනි වතාවටය. ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 23 ක් දිනා ඇති සෙරීනා, පසුගිය වසරේදී මවක වීමෙන් පසුව ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් දෙවැනි අවස්ථාව මෙයයි.

තරගාවලියේ ශ්‍රේණිගත ස්ථාන අනුව 17 වැනි ස්ථානය හිමිකරගෙන සිටි විලියම්ස්ට 19 වැනි ස්ථානයේ සිටි ඇන්ස්ටාසියා සෙවැටෝවා ලකුණු 6-3 ක් සහ 6-0 ක් ලෙසින් පරාජය කිරීමට අවශ්‍ය වූයේ විනාඩි 66 ක් පමණි.

තරගාවලියේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර 20 වැනි ස්ථානයේ සිටි නයෝමි ඔසාකා විසින් ඇමරිකානු ක්‍රීඩිකා මැඩිසන් කීස් ලකුණු 6-2 ක් සහ 6-4 ක් ලෙසින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. මැඩිසන් කීස් පසුගිය වසරේ ඇමරිකානු විවෘත තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් ක්‍රීඩිකාවයි.

“අදහාගන්නත් බෑ” යයි සතුටින් උද්දාමයට පත් සෙරීනා විලියම්ස් කෑගැසුවාය.

මවක වීමෙන් පසුව රුධිර නාලයක ලේ කැටියක් සිරවීම හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් සිටින සෙරීනා වසරක ඇවෑමෙන් නැවත වරක් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණ සිටින්නීය.

“රෝහලේ ඇඳෙන් නැඟිටලා,..ඇවිදගන්න හෝ වෙනත් කිසිදෙයක් කරගන්න බැරිව ඉඳලා,..එයින් අවුරුද්දකට පස්සේ මෙතැන මේ අවසන් මහ තරගයේද ඉන්නවා කියන්නේ අදහගන්න බැරි දෙයක්. අනෙක මේ පිට පිටම දෙවැනි වතාවට” යයි පසුගිය මාසයේදී පැවැති විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් මහ තරගයටත් සුදුසුකම් ලද සෙරීනා පැවසුවාය.

“මෙච්චර දුර ඇවිල්ලා...මම දැන් බලාපොරොත්තු වන්නේ කරන්න පුළුවන් දේවල් ගැනයි” යයිද ඇය කීවාය.
අවසන් වරට ඇමරිකානු විවෘත තරගවලියේ ක්‍රීඩා කළ 2015 සහ 2016 වසර වලදී සෙරීනා එම වසර දෙකේදීම අවසන් පූර්ව වට වලදී පරාජය වූවාය.

වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනා සිටින ඇමරිකානු ක්‍රීඩිකාව වන ක්‍රිස් එවර්ට් ලොයිඞ් පසුකර යාමට සෙරීනාට අවශ්‍ය වන්නේ තවත් එක ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් පමණක් වන අතර ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකා මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 24 ලෝක වාර්තාව සමකිරීමටත් ඇයට එයින් අවස්ථාව ලැබේ.

තවමත් 20 හැවිරිදි ක්‍රීඩිකාවක වන නයෝමි ඔසාකා ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් හතර දෙනා අතරට එක්වූයේ පළමු වතාවටය. ඇය කියන්නේ සෙරීනා විලියම්ස් හමුවීමේ අදහස මගින් ඇයව දිරිමත් වූ බවයි.

“මට හිතන්න තිබුණේ එකම දෙයයි. මට සෙරීනා මුණගැසෙන්න ඕනා” යයි ඇය කීවාය. මේ වතාවේදී  මැඩිසන් කීස් පරාජය කරමින් ජයගත් ඔසාකා මීට පෙර අවස්ථා තුනකදීම මැඩිසන් හමුවේ පරාජය වී තිබිණ.

කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේදී මියාමිහිදී පැවැති තරගයකදී නයෝමි විසින් සෙරීනා පරාජය කරනු ලැබ තිබිණ. ඒ සෙරීනා මවක වීමෙන් පසුව සහභාගි වූ දෙවැනි තරගාවලියයි.

දැනට 36 හැවිරිදි සෙරීනා වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවට පිවිසියේ 1995 දීය. ඒ වන විට නයෝමි ඔසාකා මෙලොව එළියවත් දැක නොතිබිණ. වයස 16 දී වෘත්තීය ටෙනිස් පිටියට පිවිසි ඔසාකා උපත ලද්දේ 1997 ඔක්තෝබර් 16 වැනිදාය.


අදහස් (0)

ඇමරිකානු විවෘත ශූරතාවට පරම්පරා ගැටුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.