Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇලිස්ටෙයාර් කුක්ට නායකත්වය අහිමිවෙයි

ඇලිස්ටෙයාර් කුක්ට නායකත්වය අහිමිවෙයි

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගින් දිගටම අසාර්ථක වූ එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් තනතුරෙන් ඉවත් කර එම තනතුර ඔයින් මෝගන්ට පැවරීමට එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් මණ්ඩලය තීරණය කර තිබේ. එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් මණ්ඩලය ඊයේ (20 වැනිදා) මේ බව නිවේදනය කළේය.

එංගලන්තය අවසන් වරට සහභාගි වූ එක්දින තරග 22 දී කුක්ට ලබාගත හැකිවූයේ එකම අර්ධ ශතකයක් පමණක් වූ අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේදී පැවැති තරගාවලියේදීද කුක් පිතිකරුවකු වශයෙන් අසාර්ථක විය. එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ 5-2 ක තරගාවලි පරාජයක් එංගලන්ත පිලට අත්විය.

නත්තලට පසුව  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී මෙන්ම ඉන් අනතුරව පැවත්වෙන ලෝක කුසලාන තරගාවලයේදීත් එංගලන්ත පිලේ නායකයා වශයෙන් ඔයින් මෝගන් කටයුතු කරනු ඇත. එංගලන්ත එක්දින කණ්ඩායමට කුක් සම්බන්ධ නොවන නමුත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා වශයෙන් කුක් දිගටම රැඳී සිටිනු ඇත.

ශී‍්‍ර ලංකා සංචාරයෙන් අනතුරුව එංගලන්ත එක්දින පිලේ නායකත්වය වෙනස් විය යුතු යයි තේරීම් නිලධාරීන් විසින් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයේ කළමණාකාර අධ්‍යක්‍ෂක පෝල් ඩවුන්ටන්ට දන්වන ලද අතර සෙනසුරාදා ඊට එංගලන්ත කි‍්‍රකට් මණ්ඩල සභාපතිවරයාගේ අනුමැතිය ලැබිණ.

වසර 2012 සිටම එක්දින තරගයකදී ශතකයක් ලබා නැති ඇලිස්ටෙයාර් කුක් ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසුව පැවසුවේ තමන්ට නායකත්වය අහිමි වුවත් ”ඒ ගැන මට ගතු කියන්න තරම් දෙයක් නෑ” යනුවෙනි.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය පෙනෙන තෙක් මානයේ තිබියදී එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් විසින් ගන්නා ලද මෙම තීරණය වරෙක ඇදහිය නොහැකි තරම්ය. මක්නිසාද යත් මේ වසර පුරාම එංගලන්ත කි‍්‍රකට් බලධාරීන්ගෙන් මෙන්ම පෝල් ඩවුන්ටන් මහතාගෙන් සහ එංගලන්ත පුහුණුකරු පීටර් මුවර්ස් මහතා වෙතින්ද ඇලිස්ටෙයාර් කුක්ට විශාල සහයෝගයක් ලැබීම නිසාය.

”ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීම කියන්නේ මාව විනාශ වුණා කියන එකයි. ඒ කඩාවැටීමෙන් ගොඩ එන්න මට ටික කාලයක් යාවි”

”ඒත් මා පීටර් මුවර්ස්ට වගේම ඔයින්ටත් (මෝගන්) කණ්ඩායමේ අනෙක් සගයින්ටත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුබ පතනවා... මා එක්දින කණ්ඩායමේ නායකයාව සිටි කාලයේදී මා සමග සිටි සෑම කී‍්‍රඩකයකුට වගේම කී‍්‍රඩා ලෝලීන්ටත් ස්තුති වන්ත වෙනවා” යයිද ඇලිස්ටෙයාර් කුක් පැවසීය.

කුක් ලබන බ‍්‍රහස්පතින්දා 30 වැනි වියට පා තබයි. ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරග 7 දී කුක්ට ලබාගත හැකිවූයේ ලකුණු 119 ක් පමණක් වූ අතර එහි ඉනිමක සාමාන්‍යය 19.83 කි.

කෙසේ වෙතත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ගොඩනැංවීමේදී කුක්ට වශාල කාර්යභාරයක් පැවරෙනු ඇතැයි පෝල් ඩවුන්ටන් මහතා කියයි.
”වසර 2011 සිටම එංගලන්ත කණ්ඩායම මෙහෙයවීම ගන මා ඔහුට ස්තුති කළ යුතුයි. එංගලන්ත කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 අත්පත් කරගත්තේත් ඒ කාලයේදී තමයි” යයිද ඩවුන්ටන් මහතා පැවසීය.

මේ අතර ඔයින් මෝගන් පවසන්නේ එංගලන්ත එක්දින පිලේ නායකත්වය තමන්ට අති විශාල ගෞරවයක් බවයි. එක්දින කණ්ඩායමට එක්වූ දා පටන්ම ඔයින් මෝගන් විශාල වැඩ කොටසක් කළේය. ශී‍්‍ර ලංකාවේදී පැවැති තරගාවලියේදීත් ඇලිස්ටෙයාර් කුක් තහනමකට ලක්වූ අවස්ථාවේදී එංගලන්ත පිලේ නායකත්වය දැරුවේ මෝගන්ය.

එංගලන්ත පිල ජනවාරි මස 6 වැනිදා  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යන අතර  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව සමග තුන්කොන් තරගාවලියකට සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

ඇලිස්ටෙයාර් කුක්ට නායකත්වය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.