Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියාව තලා දමති

ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියාව තලා දමති

Nisanka Sandeepani - 2017 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාගේ වික්‍රමාන්විත ශතකය හේතුවෙන් නාග්පූර් නුවරදී ඊයේ (1 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලු 3 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය පිල සමත් විය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී ඕස්ට්‍රේලියානුවන් තලා පෙළා දැමූ ඉන්දියානුවෝ 4-1 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගැනීමටද සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලට රෝහිත් ෂර්මාගෙන් පන්දු 109 කදී ලකුණු 125 ක් ලැබිණ.

ෂර්මාගේ මෙම වේගවත් පිතිහරඹය නිසා ඕවර 7.1 ක් ඉතිරිව තිබියදීම ජයටැඹ පසුකර යාමට ඉන්දියානුවෝ සමත් වූවා පමණක් නොව එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගැනීමටත් සමත් වූහ. 

තුන්වැනි එක්දින තරගයේදී පරාජය වීමෙන් පසුව විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයට වැටිණ. එහෙත් ඊයේ තරගය ජයගැනීමත් සමගින් ඔව්හු නැවතත් සිය පෙරමුණ අත්පත් කරගත්හ. 

ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගත් අක්ෂර් පතෙල්ගේ පන්දු යැවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 242 කට සීමා විය. ඬේවිඞ් වෝනර්, පීටර් හැන්ස්කොම්බ් සහ ට්‍රැවිස් හෙඞ් තිදෙනා පිටියෙන් ඉවත් කළ පතෙල් ලකුණු 280 න් එපිටට යාමට ඕස්ටේ්‍රලියානුවන්ට තිබූ අවස්ථාව අවහිර කර දැමීය. 

ඉලක්කය කරා යාමේදී ඉන්දීය පිලට කවදත් ලැබෙන සාර්ථක ආඩිතාලම දමා දීමට රෝහිත් ෂර්මා සහ අජින්ක්‍යා රහනේ සමත් වූහ. එය අජින්ක්‍යා රහනේ පිට පිටම ලබාගත් සිවුවැනි අර්ධ ශතකය විය. 

රහනේ සමග එක්ව ඕවර 22.3 කදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක් එක්කිරීමෙන් පසුව ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන්ට පන්න පන්නා පහර දුන් ෂර්මා පන්දු 109 කට පසුව දැවී ගියේ ලකුණු 125 ක් සිය නම ඉදිරියෙන් සටහන් කිරීමෙන් පසුවය. ෂර්මාගේ 14 වැනි එක්දින ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.

නායක කෝලි සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 99 ක් එක්කළ රෝහිත් ෂර්මා දැවී යන විට ඉන්දීය පිල ජයග්‍රහණයට ලකුණු 20 ක් මෑතින් සිටියේය. 

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ට 242 යි
(ඬේවිඞ් වෝනර් 53, ඒරන් ෆින්ච් 32, ස්ටීවන් ස්මිත් 16, පීටර් හැන්ස්කොම්බ් 13, ට්‍රැවිස් හෙඞ් 42, මාකස් ස්ටොයිනිස් 46, මැතිව් වේඞ් 20, ජේම්ස් ෆෝක්නර් 12, ජස්ප්‍රීට් බුම්රා 51/2, අක්ෂර් පතෙල් 38/3)

ඉන්දියාව - ඕවර 42.5 කදී කඩුලු 3 ක් දැවී 243 යි
(අජින්ක්‍යා රහනේ 61, රෝහිත් ෂර්මා 125, විරාට් කෝලි 39, මනීෂ් පණ්ඬේ නොදැවී 11, ඇඩම් සම්පා 59/2)


අදහස් (0)

ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියාව තලා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.