Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානු පිතිකරුවෝ තරම පෙන්වති

ඉන්දියානු පිතිකරුවෝ තරම පෙන්වති

editorial - 2023 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරුවන් වූ ෂුබ්මන් ගිල් (74) සහ රුතුරාජ් ගයික්වාඩ් (71) දෙදෙනා ගොඩනැංවූ සවිමත් අඩිතාලම මත සිටගත් ඉන්දීය පිතිකරුවෝ, මොහාලි නුවරදී ඊයේ (22 වැනිදා) පැවැති පළමු එක්දින අන්තර්ජාතික තරගයේදී ඕස්ට්‍රේලියානුවන් හමුවේ කඩුලු 5 ක ජයක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියහ.

ලෝක කුසලාන තරගාවලියට පොරතුව ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වල අවසන් සූදානම් වීම මෙම තරගාවලියයි. තරගාවලිය තරග 3 කින් සමන්විත වේ. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ඉන්දියානුවෝ නැවත වරක් ලෝකයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී අංක 1 ස්ථානය අත්පත් කරගත්හ.

ලකුණු 277 ක ඉලක්කයක් කරා ගිය ඉන්දියානුවෝ, පන්දු 8 ක් ඉතිරිව තිබියදී, කඩුලු 5 කට ලකුණු 281 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ.

ෂුබ්මන් ගිල් සහ ගයික්වාඩ් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ලකුණු 44 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටුණ හෙයින්, වරෙක කිසිවකු නොදැවී ලකුණු 142 ක්  වූ ලකුණු පුවරුව, කඩුලු 4 ට 185 ක් විය. එහෙත් තාවකාළික නායක ලෝකේෂ් රාහුල් (නොදැවී 58) සහ සූර්යකුමාර් යාදව් (50) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක් එක්කරමින් ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු සුන්කර දැමූහ.

සිය දකුණතේ මැණික්කටුවේ ආබාධයකට ලක්ව සිටි ඕස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස් ඊයේ තරගයේදී නැවත වතාවක් කණ්ඩායමට එක්වූවද ඔහුට දවාගත හැකිවූයේ එකම කඩුල්ලකි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුව පන්දු යැවීමට තීරණය කළ ඉන්දියානුවන් වෙනුවෙන් අගනා මෙහෙවරක් කළ වේග පන්දු යවන්නා වූ මොහොමඩ් ශාමි, සිය පළමු ඕවරයේදීම මිචෙල් මාෂ්ව පිටියෙන් ඉවත් කළේය. පළපුරුදුකාරයින් වන ඩේවිඩ් වෝනර් (52) සහ ස්ටීවන් වෝ (41) එක්ව ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඕස්ට්‍රේලියානු ඉනිම පිළිසකර කළ නමුත් 40 වැනි ඕවරය නිමාවේදීත් ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිව තිබුණේ කඩුලු 5 කට 186 කි. ඒ වන විටත් ඉන්දීය දඟ පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගෙන තිබිණ.

මුලින් දැවී ගිය කඩුලු 2 කට මොහොමඩ් ශාමි හිමිකම් කී නමුත් ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ අවසන් ඕවර 10 දී ලකුණු 90 ක් උදුරා ගත්හ. ජොෂ් ඉංග්ලිෂ් (45) සහ මාකස් ස්ටොයිනිස් (29) දෙදෙනා පන්දු 31 කින් ලකුණු 62 ක් එක්කළ ද මොහොමඩ් ශාමි නැවත වරක් පන්දුව අතට ගැනීමත් සමගින් ස්ටොයිනිස්, මැතිව් ෂෝට් සහ ෂෝන් ඇබට් තිදෙනාම දැවී ගියහ. ශාමි ලකුණු 51 කට 5 ක් දවාගනිමින් තරගය අවසන් කළේ සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කරමිනි.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී සියලු දෙනා දැවී 276 යි
(ඩේවිඩ් වෝනර් 52, ස්ටීවන් ස්මිත් 41, මානස් ලැබුෂේන් 39, කැමරන් ග්‍රීන් 31, ජොෂ් ඉංග්ලිෂ් 45, මාකස් ස්ටොයිනිස් 29, පැට් කමින්ස් නොදැවී 21, මොහොමඩ් ශාමි 51/5)

ඉන්දියාව - ඕවර 48.4 කදී කඩුලු 5 ක් දැවී 281 යි
(රුතුරාජ් ගයික්වාඩ් 71, ෂුබ්මන් ගිල් 74, ලෝකේෂ් රාහුල් නොදැවී 58, ඉෂාන් කිෂන් 18, සූර්යකුමාර් යාදව් 50, ඇඩම් සම්පා 57/2)

- 213

 


අදහස් (0)

ඉන්දියානු පිතිකරුවෝ තරම පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.