Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ අනුන්ට කැපූ වලේ වැටෙති
පූනේ ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ අනුන්ට කැපූ වලේ වැටෙති

editorial - 2024 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි  - සැකසුම : දමින්ද විජේසූරිය)

සුදු ජාතික පිතිකරුවන් අමාරුවේ දැමීම සඳහාම දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කළ නමුත් ඉන්දියානුවන්ගේම උපක්‍රම වලින් ඔවුන්ට දමාගැසූ නවසීලන්ත ක්‍රීඩකයෝ පූනේ නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 113 ක අති විශිෂ්ට ජයක් ලැබූහ. ලකුණු 359 ක ඉලක්කයක් කරා යමින් සිටි ඉන්දීය කණ්ඩායම ලකුණු 245 කට සීමා කළ නවසීලන්ත පන්දු යවන්නෝ 2-0 ක් ලෙසින් තරගාවලිය ද ජයගත්හ. 

නවසීලන්ත කණ්ඩායමක් ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලියකින් ජයගත් පළමු වැනි අවස්ථාව මෙයයි. නවසීලන්ත කණ්ඩායමක් පළමු වරට ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දියාවේ සංචාරය කර ඇත්තේ 1955 දීය. වසර 2012 දී ඇලිස්ටෙයාර් කුක්ගේ එංගලන්ත කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩායම සිය මව්බිමේදී ටෙස්ට් තරගාවලියකින් පරාජය වූ පළමු අවස්ථාවද මෙයයි. 

තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබේ. 

ඉන්දීය පිල මුල් ඉනිමේදී ලකුණු 156 කට සීමාකළ මිචෙල් සෑන්ට්නර් (53/7) දෙවැනි ඉනිමේදීත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 104 කට කඩුලු 6 ක් දවාගත්තේය. පූනේ ටෙස්ට් තරගයේදී මිචෙල් සෑන්ට්නර් දවාගත් කඩුලු සංඛ්‍යාව 13 කි. 

“කඩුල්ලක් දවාගන්නා සෑම අවස්ථාවකදීම කිසියම් ආත්ම විශ්වාසයක් ලැබෙනවා. අද මට ඒ තත්ත්වය හොඳින්ම දැනුණා”

“මම දවාගන්නා කඩුල්ලක් කඩුල්ලක් ගානේ මම වඩ වඩාත් හොඳින් පන්දු යැව්වා” යයි මිචෙල් සෑන්ට්නර්  තරගයෙන් පසුව පැවසීය. 

නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශක පුහුණුකරුවා වශයෙන් රංගන හේරත් මහතා කටයුතු කරයි. 

දෙවැනි ඉනිමේදී කඩුල්ලේ එක අන්තයක් අල්ලාගත් සෑන්ට්නර් විවේකයකින් තොරවම ඕවර 29 ක් යවමින් ලකුණු 104 කට කඩුලු 6 ක් දවාගත්තේය. අනෙක් අන්තයෙන් පන්දු යැවූ අජාස් පතෙල් (43/2) සහ ග්ලෙන් පිලිප්ස් (60/1) ඉතිරි කඩුලු හිමිකර ගත්හ. ඕවර 60.2 කින් යුත් ඉන්දීය දෙවැනි ඉනිමේදී වේග පන්දු යවන්නන් වූ ටිම් සවුති සහ විලියම් ඕ’රූක් දෙදෙනාම යැවුයේ ඕවර 3 ක් පමණි. 

“අපි මේ තරගයේදී හොඳින් පන්දුවට පහර දුන්නේම නෑ. මේක අපි සේරම අසාර්ථක වෙච්ච වෙලාවක්” යයි ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසීය. 

මෙම තරගාවලිය පරාජය වීමත් සමගින් සිය මව්බිමේදී ටෙස්ට් තරගාවලි 18 ක් එක දිගට ජයගෙන තිබූ ඉන්දියානුවන්ගේ වාර්තාගත ගමන නතර විය. එය ලෝකයේ ඕනෑම ටෙස්ට් කණ්ඩායමක් සඳහා වන ලෝක වාර්තාවකි. 

මෙම තරගාවලි ජය අත්කරගැනීමට පෙර නවසීලන්ත කණ්ඩායම 2-0 ක් ලෙසින් ශ්‍රී ලංකාවේදී පරාජය විය. ශ්‍රී ලංකාවේදී ලද පරාජයෙන් පසුව ටිම් සවුති ටේස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ අතර ටොම් ලෙතම් ටෙස්ට් නායකත්වයට පත්විය. 


නවසීලන්තය - පළමු ඉනිම 259 යි
(ටොම් ලෙතම් 15, ඩෙවොන් කොන්වේ 76, විල් යංග් 18, රචින් රවීන්ද්‍ර 65, ඩැරිල් මිචෙල් 18, මිචෙල් සෑන්ට්නර් 33, රවිචන්ද්‍රන් අශ්වින් 64/3, වොෂිංටන් සුන්දර් 59/7)

ඉන්දියාව - පළමු ඉනිම 156 යි
(යයස්වී ජයිස්වාල් 30, ෂුබ්මන් ගිල් 30, රිෂාබ් පාන්ට් 18, සර්ෆ්‍රාස් ඛාන් 11, රවීන්ද්‍ර ජදේජා 38, වොෂිංටන් සුන්දර් 18, මිචෙල් සෑන්ට්නර් 53/7, ග්ලෙන් පිලිප්ස් 26/2)

නවසීලන්තය - දෙවැනි ඉනිම 255 යි
(ටොම් ලෙතම් 86, ඩෙවොන් කොන්වේ 17, විල් යංග් 23, ඩැරිල් මිචෙල් 18, ටොම් බ්ලන්ඩල් 41, ග්ලෙන් පිලිප්ස් 48, රවිචන්ද්‍රන් අශ්වින් 97/2, වොෂිංටන් සුන්දර් 56/4, රවීන්ද්‍ර ජදේජා 72/3)

ඉන්දියාව - දෙවැනි ඉනිම  245 යි
(යසස්වී ජයිස්වාල් 77, ෂුබ්මන් ගිල් 23, විරාට් කෝලි 17, වොෂිංටන් සුන්දර් 21, රවීන්ද්‍ර ජදේජා 42, රවිචන්ද්‍රන් අශ්වින් 18, ජස්ප්‍රීට් බුම්රා 10, මිචෙල් සෑන්ට්නර් 104/6, අජාස් පතෙල් 43/2)

 


අදහස් (0)

ඉන්දියානුවෝ අනුන්ට කැපූ වලේ වැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.