Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ එක්දින තරගාවලිය සම කරති

ඉන්දියානුවෝ එක්දින තරගාවලිය සම කරති

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව රාංචි නුවරදී ඊයේ (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමට සමත් විය. තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (11 වැනිදා) දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 45.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී සිය දෙවැනි එක්දින ශතකය ලබාගත් ශ්‍රෙයාස් අයියර්, පන්දු 111 කදී හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 113 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ලකුණු 48 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පිටියට පිවිසි අයියර්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉෂාන් කිෂන් (93) සමග එක්ව පන්දු 155 කදී ලකුණු 161 ක්ද, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් සංජු සැම්සන් (නොදැවී 30) සමග එක්ව පන්දු 69 කදී ලකුණු 73 ක්ද එක්කිරීමට සමත් විය. පන්දු 84 කදී වාර්තා වූ ඉෂාන්ගේ අර්ධ ශකතය හයේ පහර 7 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 278 ක් ලබාගතතේය. රීසා හෙන්ඩි්‍රක්ස් (74) සහ ඒඩ්න් මාක්‍රම් (79) එහිදී අර්ධ ශතක ලැබූහ. පන්දු 76 කදී වාර්තා වූ හෙන්ඩි්‍රක්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 89 කට මුහුණදුන් මාක්‍රම් හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම සැරසුවේය.

ඔවුන් දෙදෙනා එක්ව දකුණු අප්‍රිකානු ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 129 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 129 කි. හෙන්රික් ක්ලාසන් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක්ද, ඩේවිඩ් මිලර් පන්දු 34 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 35 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.   


දකුණු අප්‍රිකානු පිල - ඕවර 50 කදී කඩුලු 7 කට 278
(යනෙමන් මලාන් 25, රීසා හෙන්ඩ්‍රික්ස් 74, ඒඩ්න් මාක්‍රම් 79, හෙන්රික් ක්ලාසන් 30, ඩේවිඩ් මිලර් 35, වේන් පනේල් 16, මොහොමඩ් සිරාජ් 38/3)

ඉන්දීය පිල - ඕවර 45.5 කදී කඩුලු 3 කට 282
(ශුබ්මන් ගිල් 28, ඉෂාන් කිෂන් 93, ශ්‍රෙයාස් අයියර් නොදැවී 113, සංජු සැම්සන් නොදැවී 30)

-036


අදහස් (0)

ඉන්දියානුවෝ එක්දින තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.