Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ තරම පෙන්වති
1 වැනි විස්සයි-20 තරගය

ඉන්දියානුවෝ තරම පෙන්වති

editorial - 2024 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

අසම්මත පහර වැලකින් ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට දඬුවම් කළ ඉන්දියානුවෝ පල්ලෙකැළේදී අද (27 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 43 ක පහසු ජයක් අත්කර ගත්හ. නියමිත ඕවර 20 න් ලකුණු 213 ක් උදුරා ගත් ඉන්දියානුවෝ ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 170 කට සීමා කළේ, පන්දු 32 ක් ඇතුළත, අවසන් කඩුලු 9 ම ලකුණු 30 කට බිම දමමිනි. 

එය ඉන්දියානුවන්ගේ පිතිහරඹයේත් පන්දු යැවීමේත් තරම කදිමට පෙන්නුම් කිරීමක් විය. 

තරගාවලිය ආරම්භ කිරීමට දින දෙකකට පෙරදී ඉන්දීය උපනායක ශුබ්මන් ගිල් කීවේ ලෝක ශූරයන් ලෙසින් මෙම තරගාවලිය ක්‍රීඩා කළ යුතු බවයි. ඔව්හු එය වචන වලින් නොව, ක්‍රියාවෙන්ම පෙන්නුම් කළහ. 

ලකුණු 214 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වරෙක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 140 ක් ලබා සිටි අතර එතැන් සිට ජයග්‍රහණයට අවශ්‍ය වූයේ පන්දු 36 කින් ලකුණු 74 කි. එහෙත් පැතුම් නිස්සංක දැවී යාමත් සමගින් අනෙක් පිතිකරුවෝ 9 දෙනාම ලකුණු 30 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට ගියහ. 

පැතුම් නිස්සංක (79) සහ කුසල් මෙන්ඩිස් (45) චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ නමුත් තරග 3 කින් සමන්විත තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් හැරුණු විට අනෙක් සියලුම පිතිකරුවන් පහර දුන්නේ විස්සයි-20 තරග සඳහාම නිර්මාණය කළ පහර වලිනි. ශුබ්මන් ගිල්ගේ ලකුණු 34 ට ක්‍රිකට් පොතේ සඳහන් අලංකාර පහර කීපයක්ම ඇතුළත් වූ නමුත් සෙසු පිතිකරුවන් සියලු දෙනාම පාහේ පිතිහරඹය සඳහා වන ක්‍රිකට් අත්පොත පැත්තකින් තබා තිබූ බවක් පෙනෙන්නට තිබිණ. 

යසස්වී ජයිස්වාල් (40) සහ ෂුබ්මන් ගිල් (34) දෙදෙනා ඉන්දියානුවන්ට අවශ්‍ය වූ ආරම්භය අරන් දුන්හ. ඕවර 6 කින් ලකුණු 74 ක් පුවරුවට එකතු කළ ජයිස්වාල් සහ ගිල් දෙදෙනාම පන්දු දෙකක් අතරතුරදී දැවී ගිය නමුත් ලකුණු 200 සීමාව පැනීමට අවශ්‍ය පදනම ඔවුන් දෙදෙනා දමා දුන්හ. 

සූර්යකුමාර් යාදව්ගේ උඩපන්දුවක් ඩීප් ෆයින් ලෙග්හි සිටි අසිත ප්‍රනාන්දු අතින් ගිළිහී යාම පල්ලෙකැළේ කී්්‍රඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු බිම දැමීමක් විය. සූර්යකුමාර් ලකුණු  15 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව ගිළිහී යාමෙන් සිදුවූයේ ඉන්දීය නායකයා සහ රිෂාබ් පාන්ට් එක්ව පන්දු 43 කින් ලකුණු 76 ක් එක්කිරීමයි. 

පන්දු 22 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ සූර්යකුමාර් යාදව්, කඩුල්ල මුවාකිරීමට හසුව දැවී යන විට හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සරසා තිබිණ. වමත් පිතිකරුවකු වන රිෂාබ් පාන්ට් සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩකාරී පිතිකරුවෙකි. සූර්යකුමාර් පිටියේ සිටියදී තරමක් සන්සුන්ව සිටි රිෂාබ් පාන්ට්, 14 වැනි ඕවරයේදී නායකයා දැවී යාමෙන් පසුව ලකුණු රැස්කිරීම වේගවත් කරමින් පන්දු 33 කදී ලකුණු 49 ක් ලබාගත්තේය. 

මතීෂ පතිරණ කඩුලු 4 ක් දවාගත්තද ඔහුගේ ඕවර 4 න් ලකුණු 40 ක් උදුරාගෙන තිබිණ. යම් තරමකට හෝ සාර්ථක වූයේ සිය පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් වනිඳු හසරංග පමණි. හසරංග සිය ඕවර 4 ලකුණු 28 කට සීමාකරගත් නමුත් අනෙක් සියලුම පන්දු යවන්නන් ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් ලකුණු සංඛ්‍යාව 200 සීමාව පැන ගියේය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (1)

ඉන්දියානුවෝ තරම පෙන්වති
  • Pradeep Kumara Sunday, 28 July 2024 08:27 AM

    අපේ මැද පෙළ පිතිකරුවන් මීට වඩා කණ්ඩායම සහ තම වගකීම් ගැන හිතුවා නම්, ඒ වගේම පන්දු රැකීම හරියාකාරව කළා නම් ඉන්දියානුවන්ට අපේ තරම පෙන්වන්න තිබුණා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.