Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව දෙවැනි සුපිරි ඕවරයේදී ජය ලබයි

ඉන්දියාව දෙවැනි සුපිරි ඕවරයේදී ජය ලබයි

editorial - 2024 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට එරෙහිව බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය දෙවැනි සුපිරි ඕවරයේදී ජයගත් ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 කින් ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ලකුණු 212 ක් ලබාගැනීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකන් තීරණය කිරීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ලකුණු 16 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දියාවට රැස්කරගත හැකි වූයේද ලකුණු 16 ක් පමණි. 

එබැවින් දෙවැනි සුපිරි ඕවරයද ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 11 ක් රැස්කළේය. එහෙත් ඊට පිළිතුරු ලෙස ඇෆ්ඝනිස්ථානයට කඩුලු 2 ක් දැවී රැස්කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි. තරගයේ වීරයා ලෙස පන්දු 69 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 121 ක් රැස්කළ රෝහිත් ශර්මා සම්මාන දිනාගත්තේය. 

ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී රිංකු සිං (නොදැවී 69) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 190 ක නොබිඳුණු වේගවත් සම්බන්ධතාවක් ගොඩගැනීමටද ශර්මා සමත් විය. පන්දු 39 කට මුහුණදුන් රිංකු සිං, හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් මුල් පිතිකරුවන් තිදෙනා වූ රහ්මනුල්ලා ගුර්බාස් (50), ඊබ්‍රහීම් සද්‍රාන් (50) සහ ගුලාබ්දීන් නයිබ් (නොදැවී 55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. සිය කණ්ඩායමට ඉලක්කය කරා ලඟා වීමට අනගි දායකත්වයක් දැක්වූ මොහොමඩ් නබී පන්දු 16 කින් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 4 කට 212 
(රෝහිත් ශර්මා නොදැවී 121, රිංකු සිං නොදැවී 69, ෆරීඩ් අහමඩ් 20/3) 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 6 කට 212
(රහ්මනුල්ලා ගුර්බාස් 50, ඊබ්‍රහීම් සද්‍රාන් 50, ගුලාබ්දීන් නයිබ් නොදැවී 55, මොහොමඩ් නබී 34, වොෂින්ටන් සුන්දර් 18/3) 

-036 


අදහස් (0)

ඉන්දියාව දෙවැනි සුපිරි ඕවරයේදී ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.