Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට - ඕස්ට්‍රේලියාවට දඩ

ඉන්දියාවට - ඕස්ට්‍රේලියාවට දඩ

editorial - 2023 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් 100% ක්ද, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරග ගාස්තුවෙන් 80% ක්ද දඩ වශයෙන් ගෙවීමට තරග තීරක රිචී රිචඩ්සන් මහතා නියම කර ඇත.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම ශ්‍රේණියේ විනිසුරුවරයකු වන රිචඩ්සන් මහතා එම තීරණය ගෙන ඇත්තේ අවසන් මහ තරගයේදී නියමිත වේලාව තුළ යැවිය යුතුව තිබූ ඕවර සංඛ්‍යාවට වඩා ඉන්දියාව ඕවර 5 ක් අඩුවෙන්ද, ඕස්ටේ්‍රලියාව ඕවර 4 ක් අඩුවෙන්ද යවා ඇති බවට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ගේ සහායක පිරිස් සඳහා වන අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති මාලාවේ 2.22 වගන්තියට අනුව තරගයකදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වාගෙන යෑමේ වරද වෙනුවෙන් කණ්ඩායමකට එක් ඕවරයක් සඳහා තරග ගාස්තුවෙන් 20% ක දඩයක් පැනවිය හැකිය.

මෙම සිදුවීමට අදාලව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් වරද පිළිගෙන ඇති බැවින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නොපැවැත්වෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.

මේ අතර තරගය පැවැත්වෙන අතරතුර විනය කඩ කිරීම හේතුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට තරග ගාස්තුවෙන් 15% දඩයක් නියම කිරීමට සහ දඬුවම් ලකුණක් ලබා දීමටද තරග තීරකවරයා පියවර ගෙන ඇත.

එහිදී සිය දැවී යෑම සම්බන්ධයෙන් විනිසුරුවන් ලබා දුන් තීරණය සමාජ මාධ්‍යය ඔස්සේ විවේචනයට ලක් කිරීම තුළින් ඔහු විනය නීති මාලාවේ 2.7 වගන්තිය උල්ලංඝණය කර ඇතැයි තරග තීරකවරයා නිරීක්ෂණය කර තිබේ.

රිචඩ් ඉලිංග්වර්ත් සහ ක්‍රිස් ගැෆනි යන මහත්වරු මෙම තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ අතර රිචඩ් කෙට්ල්බරෝ සහ කුමාර් ධර්මසේන යන මහත්වරු පිළිවෙළින් එහි තෙවැනි සහ සිවුවැනි විනිසුරුවන් ලෙස කටයුතු කළහ.

-036


අදහස් (0)

ඉන්දියාවට - ඕස්ට්‍රේලියාවට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.