Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ සියලුම තරග ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැත්වීමේ වාසිය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත් ඉන්දියානුවෝ, අද (02 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී නවසීලන්තය ලකුණු 44 කින් පරාජය කළහ. මූලික වටයේ තරග තුනම ජයගත් ඉන්දියාව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත් අතර නවසීලන්තයට දෙවැනි තැන හිමිවිය.
ඒ අනුව 4 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව ඩුබායි හිදී තරග වදින අතර 5 වැනිදා ලාහෝරයේදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය තරග වදිති.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 249 ක් ලබාගත් අතර නවසීලන්තය ලකුණු 205 කට දැවී ගියේය. කේන් විලියම්සන් ලකුණු 81 ක් ලබාගත් නමුත් අවශ්‍ය ඉලක්කය කරා නවසීලන්තය කැඳවාගෙන යාමට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.
මැතිව් හෙන්රිගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 249 කට සීමා විය. දැනට ලෝකයේ සිටින වඩාත්ම බලසම්පන්න පිතිකරු හමුදාව ලෙසින් සැලකිය හැකි නමුත් ඔවුන් සියලු දෙනාවම ලකුණු 250 න් මෙපිට නවතාගැනීම නවසීලන්ත පන්දු යවන්නන්ගේත් විශේෂයෙන්ම පන්දු රකින්නන්ගේත් සුවිශේෂී දස්කමක් විය.
අවසන් ඕවරය ආරම්භ වන විටත් ලකුණු 250 සීමාව පැනගැනීම සඳහා ඉන්දියානුවන්ට ලකුණු 06 ක් අවශ්‍යව තිබිණ. මැතිව් හෙන්රිගේ පන්දු දෙකක්ම වයිඩ් පන්දු වූයෙන් ඉන්දීය පිතිකරුවන්ට තිබුණේ ලකුණු 04 ක් ලබාගැනීම පමණකි. එහෙත් අවසන් ඕවරයේදී හර්දික් පාණ්ඩ්‍යා සහ මොහොමඩ් ෂාමි දෙදෙනාම දැවී ගිය බැවින් ලකුණු 249 දී නතර වීමට ඉන්දියානුවන්ට සිදුවිය.
මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඩුබායි හිදී කලින් පැවැති තරග දෙකින් එකකදීවත් කිසිම කණ්ඩායමකට ලකුණු 250 සීමාව පසුකළ නොහැකි විය. ඇරත් බංග්ලාදේශයට සහ පාකිස්තානයට එරෙහිව පැවැති තරග දෙකේදීම ජයගත්තේ දෙවැනි වර පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමයි.
මෙම තොරතුරු හොඳින්ම දැන සිටි නවසීලන්ත නායක මිචෙල් සෑන්ට්නර් කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව කිසිදු පැකිළීමකින් තොරවම ඉන්දියානුවන් පිතිහරඹයට යැවුවේ රාත්‍රියේදී ගනුදෙනුව බේරාගැනීමට තරම් පිතිකරුවන් තමන්ට සිටින බව දැන දැනමය. එසේ වුවත් ඉන්දීය පිල පිරෙන්නට සිටින දඟ පන්දු යවන්නන් සම්බන්ධයෙන් නවසීලන්ත නායකයාගේ අවධානය යොමු වූවාද යන්න තරමක් සැක සහිතය.
නවසීලන්ත පන්දු රකින්නන්ගේ තරම හොඳින්ම දන්නා ඉන්දීය කණ්ඩායමද, කලින් පැවැති තරග දෙකටම වඩා ආරක්‍ෂාකාරී ආරම්භයක් ලබාගත්තේ ඩුබායි තණතීරුවේ ලකුණු බහුල නොවූ බැවිනි. මුල්ම ඕවර දෙකේදී පුවරුවට එකතු වූයේ ලකුණු 07 කි. තුන්වැනි ඕවරයේදීම ෂුබ්මන් ගිල් දැවී යාම ඉන්දීය නායකයාගේ සැකය තහවුරු කරන්නක් විය.
විරාට් කෝලි දැවීගිය උඩපන්දුව රැකගත් ආකාරය අඩුතරමේ පිතිකරුවාටවත් අදහාගත නොහැකි විය. කඩුල්ලට ඈතින් ගිය කෙටි පන්දුවට කෝලි දුන්නේ පන්දුවේ දුර්වලකමට සරිලන පහරකි. එහෙත් බැක්වර්ඩ් පොයින්ට් හි සිටි ග්ලෙන් පිලිප්ස් සිය දකුණු පසින් ඇදී යන පන්දුව වෙත පැන්නේ ගොදුර වෙත පනින බිළාලයකුටත් වඩා වැඩි වේගයකිනි.
පන්දුව තමන් පසුකර ගියාටත් පසුව ඒ වෙත ළඟාවූ පිලිප්ස් තමන් වෙතින් ඈතට ඇදී යන උඩපන්දුව තනි අතින් ඩැහැගත්තේය. පිතිහරඹය ලකුණු 11 කට සීමාකරගත් කෝලි විසල් දෙනෙතින් යුතුව ක්‍රීඩාගාරයට පියමං කළේය.
කෝලිගේ දැවී යාමත් සමගින් ලකුණු 30 ක් ඇතුළත ඉන්දීය පිලේ තුන්වැනි කඩුල්ලත් බිඳ වැටිණ. ශ්‍රෙයාස් අයියර් සහ අක්ෂර් පතෙල් එක්ව ගොඩනැංවූ ලකුණු 98 ක සම්බන්ධතාව නිසා ඉන්දියානුවන්ට තරමක සැනසීමක් ලැබුණේය.
ඉන්දීය පිතිකරුවන් පාලනය කරගැනීමට දායක වූ විශාලතම කාරණාව වූයේ නවසීලන්ත ක්‍රීඩකයන්ගේ අති විශිෂ්ට පන්දු රැකීමයි. ලකුණු ගලා ආවේ කෙතරම් මන්දගාමීවද යත් සිව්වැනි සහ පස්වැනි හතරේ පහර දෙක අතර පන්දු 51 ක්, එනම් ඕවර 8.3 ක් තිබිණ.
ග්ලෙන් පිලිප්ස්ට පසුව ‘බැක්වර්ඩ් පොයින්ට්’ ස්ථානයට පැමිණි කේන් විලියම්සන් හර්දික් පාණ්ඩ්‍යාට හෙල්ලෙන්නට නොදුන්නේය. පසුව රවීන්ද්‍ර ජදේජාගේ පිත්තේ දාරයේ වැදී තම හිසට ඉහළින් යමින් තිබූ පන්දුවේ එල්ලෙන්නටද විලියම්සන්ට හැකිවිය.
ඉන්දීය ඉනිමේ අඩක් නිමාවන විට තණතීරුව බෙහෙවින් මන්දගාමී ස්වභාවයක් ගෙන තිබිණ. මෙ සියලු අභියෝග මැද සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ශ්‍රෙයාස් අයියර්ගේ ඉනිමට හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වූවද, ඒ වෙනුවෙන් පන්දු 98 ක් වැය වී තිබිණ. කෙටි පන්දුවලට හොඳින් මුහුණ දුන් අයියර් බොහෝ අවස්ථාවලදී ‘පුල්’ පහර ගැසීමෙන් වැළකී සිටි නමුත් අවසානයේදී ඊට නතු විය.
40 වැනි ඕවරය නිමාව වන විටත් ඉන්දියානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6 ට 185 ක් ලෙසිනි. එහෙත් අවසන් ඕවර 10 දී ලකුණු 64 ක් උදුරාගත් ඉන්දියානුවෝ ලකුණු 250 සීමාවට ආසන්න වූහ. ඒ වෙනුවෙන් පන්දු 45 කින් ලකුණු 45 ක් ලබාගත් හර්දික් පාණ්ඩ්‍යා සහ පන්දු 20 කින් ලකුණු 16 ක් ලබාගත් රවීන්ද්‍ර ජදේජා මහඟු මෙහෙවරක් කළහ.
ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ට 249 යි
(රෝහිත් ෂර්මා 15, විරාට් කෝලි 11, ශ්‍රෙයාස් අයියර් 79, අක්ෂර් පතෙල් 42, ලෝකේෂ් රාහුල් 23, හර්දික් පාණ්ඩ්‍යා 45, රවීන්ද්‍ර ජදේජා 16, මැතිව් හෙන්රි 42/5)
නවසීලන්තය - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 205
(විලියම් යංග් 22, කේන් විලියම්සන් 81, ඩැරිල් මිචෙල් 17, ටොම් ලෙතම් 14, ග්ලෙන් පිලිප්ස් 12, මිචෙල් සෑන්ට්නර් 28, වරූන් චක්‍රවර්ති 42/5, කුල්දීප් යාදව් 56/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.