Last Update  :  2025-01-14 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය වලපල්ලට
නොයිදා ටෙස්ට් තරගය

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය වලපල්ලට

editorial - 2024 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය - ප්‍රංශ පුවත් සහ අන්තර්ජාතික වාර්තා ඇසුරිනි)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමය වල පල්ලට ඇද දැමූ නොයිඩා පිටියේදී පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්ථානු - නවසීලන්ත ටෙස්ට් තරගයේ දෙවැනි දිනයත් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය. වර්ෂාව ඇතිවූයේ තරගයේ ආරම්භක දිනය වූ සඳුදාට පෙරදින රාත්‍රියේය. එසේ වූවත් සඳුදා සහ අඟහරුවාදා දින දෙකේදීම, අඩුතරමේ කාසියේ වාසියවත් උරගා බැලීමට නොහැකි විය. 

ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කරයි. 
ශ්‍රී ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන සහ ඉන්දීය විනිසුරු නිටින් මෙනන් යන මහත්වරු ප්‍රධාන විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරති. තවත් විනිසුරුවරු දෙදෙනෙක් ද තරගයට නම්කර සිටිති. මේ අතර තරගය සඳහා නම්කරන ලද නිලධාරීන් අතුරින් අයෙක් පවසා ඇත්තේ මෙම ක්‍රීඩාංගණයේ තත්ත්වය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහා අවුලක්’ බවයි. 

ඇෆ්ඝනිස්ථානයේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙම තරගය ඉන්දියාවේ නවදිල්ලියට මඳක් දකුණින් පිහිටි නොයිදා නගරයේදී පැවැත්වීමට තීරණය කෙරිණ. එහෙත් ඉන්දිය ක්‍රිකට් බලධාරීන් මෙම තරගයට දක්වා ඇති සැලකිල්ල අදහාගත නොහැකි තරමට දුර්වල මට්ටමක පවතී. එය එසේ වන්නේ ඉන්දීය ජාතික ජේ ෂා මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ සභාපතිවරයා වීමට නියමිතව ඇති තත්ත්වයකදීය. 

වර්ෂාවෙන් ඇතිවන තත්ත්වය පාලනය කරගැනීම සඳහා ක්‍රීඩාංගණයේ පවතින පහසුකම් කෙතරම් දුර්වල මට්ටමක ඇත්ද යන්න කියතොත්, ක්‍රීඩා පිටියේ ඇතැම් කොටස් වියළා ගැනීම සඳහා විදුලි පංකාවක් ක්‍රියාත්මක කර එය ක්‍රීඩාංගණය පුරා ගෙන යාමට සේවකයෝ උත්සුක වූහ. එහෙත් දින දෙකක් ගතවී වුවද, අඩුතරමේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකි විය. 

ක්‍රීඩා පිටියේ හතරේ සීමාවෙන් ඇතුළත (මිඩ් විකට් කලාපය) කෙතරම් තෙතබරිත වීද යත් ක්‍රීඩාංගණ සේවකයෝ එහි වලක් කපා තෙත බරිත පස් තට්ටුව ඉවත් කර ඒ වෙනුවට වියළි පස් අතුරා ඊට උඩින් වියළි තණකොළ ඇතිරූහ. දිගින් දිගටම ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු තරගයේ දෙවැනි දිනය වූ අදත් (10 වැනිදා) මධ්‍යාහ්නය පසුවී මඳ වේලාවකට පසුව තරගය අතහැර දැමූහ. 

නොයිදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මුල්ම ටෙස්ට් තරගය මෙයයි. 

සඳුදා (9) සහ අඟහරුවාදා (10) දින දෙකේදීම හිරු එළිය හොඳින් පැවැති නමුත් ක්‍රීඩාංගණයම තෙතබරිත තත්ත්වයෙන් පැවතිණ. දෙපිලේම ක්‍රීඩකයන් තම තමන්ගේ හෝටල වලටම වී කාලය ගතකළ නමුත් නවසීලන්ත ක්‍රීඩකයෝ පමණක් අද සවස් වරුවේ ක්‍රීඩාංගණයේ පසෙක තිබූ පුහුණු තීරුවක පුහුණුවීම් කළහ. 

ඇෆ්ඝනිස්ථානයේ පවතින අවිනිශ්චිත වාතාවරණය හේතුවෙන් ඉන්දියාවේ ලක්නව් සහ දෙරාදුන් යන නගරවලදී පුහුණුවීම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පහසුකම් සපයා දී තිබේ. එබැවින් නොයිදා ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අදහස් පළකිරීමේදී ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් බලධාරීහු  මහත් සේ පරෙස්සම් වූහ. 

“මේක මහා අවුලක්. අපි ආයෙත් නම් මෙහේ එන්නේ නෑ” යයි ඇෆ්ඝනිස්ථානු නිලධාරියකු පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

ටෙස්ට් තරගය පැවැත්වීම සඳහා නොයිදා ක්‍රීඩාංගණය තෝරාගෙ ඇත්තේ එය නවදිල්ලිය ආසන්නයේ පිහිටීමත්, නවදිල්ලිය සහ කාබුල් නුවර අතර ගමන් පහසු වීමත් හේතුවෙනි. වසර 2017 දී ටෙස්ට් තත්ත්වය ලබාගත් ඇෆ්ඝනිස්ථානයේ 10 වැනි ටෙස්ට් තරගය මෙයයි. 


අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය වලපල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.