Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය වි-20 නායකත්වය සූර්යකුමාර් යාදව්ට
2024 ශ්‍රී ලංකා සංචාරය

ඉන්දීය වි-20 නායකත්වය සූර්යකුමාර් යාදව්ට

editorial - 2024 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මේ මස අග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග 3 ක් යුත් විස්සයි-20 තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදව් වෙත පැවරෙනු ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත වාර්තා කරයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි-20 තරගාවලිය මේ මස 27 වැනිදා පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. 

විස්සයි-20 ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව ඉන්දීය පිලේ හිටපු නායක රෝහිත් ෂර්මා විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. එම ස්ථානය, රෝහිත්ගේ උපනායකයා වූ  හර්දික් පාණ්ඩ්‍යාට ලැබෙනු ඇතැයි කලින් වාර්තා විය. එහෙත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කරන්නේ 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් සූර්යකුමාර් යාදව්ට ඉන්දීය විස්සයි-20 පිලේ නායකත්වය පිරිනැමෙනු ඇති බවයි. 

මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන සූර්යකුමාර් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ජනප්‍රියතම අයකු ලෙස සැලකේ. ඔහුව පහසුවෙන් හඳුන්වාදීමට යොදාගනු ලබන එස්.කේ.වයි. (ස්කයි) යෙදුම සූර්යකුමාර් යාදව්, කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ සමයේදී එහි නායකයාව සිටි ගෞතම් ගම්භීර් විසින් දෙන ලද හඳුන්වාදීමකි. 

සූර්යකුමාර් යාදව් පසුගිය වසරේදී ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වලට එරෙහිව පැවැති විස්සයි-20 අන්තර්ජාතික තරග 8 කදී ඉන්දීය පිල මෙහෙයවා තිබේ. ඊටත් අමතරව ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරුවා වන ගෞතම් ගම්භීර්ගේ මෙන්ම තේරීම් කමිටු සභාපති අජිත් අගර්කාර් යන දෙදෙනාගේම අනුමැතියත් සූර්යකුමාර්ට හිමිවී ඇති බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත කියයි. මේ සම්බන්ධයෙන් ගෞතම් ගම්භීර් සහ අගර්කාර් දෙදෙනාම හර්දික් පාණ්ඩ්‍යා සමග සාකච්ඡා කර ඇති බවත් කියැවේ. 

ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ පාණ්ඩ්‍යා ‘පෞද්ගලික හේතූන් මත’ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත්ව සිටීමට අවසර ඉල්ලා තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට ඔහු සහභාගි වනු ඇත. 


- 213


අදහස් (0)

ඉන්දීය වි-20 නායකත්වය සූර්යකුමාර් යාදව්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.