Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දු - ලංකා සීතල යුද්ධය කොළඹදී
ශූරයන්ගේ කුසලාන 2025

ඉන්දු - ලංකා සීතල යුද්ධය කොළඹදී

editorial - 2024 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියට ඉන්දීය කණ්ඩායම සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර නැවතත් සීතල යුද්ධයක් ආරම්භ වීමට නියමිතය. මේ මස 19 වැනිදා සිට 22 දා දක්වා කොළඹදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මහ සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම න්‍යාය පත්‍රයට ඇතුළත් නොවූවත්, නිල නොවන මට්ටමින් එය ප්‍රධාන මාතෘකාව වීමට ඇතැයි අන්තර්ජාතික වාර්තා වලින් කියැවේ. 

ලබන වසරේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ පාකිස්තානු සංචාරයට ඉන්දීය රජයේ අනුමැතිය මෙතෙක් හිමිවී නැත. ඉන්දියානුවන් බහුතරයකගේ මතය වන්නේත් ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යා යුතු නැති බවයි. 

තත්ත්වය වඩාත් උග්‍ර වුවහොත් 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය හෝ එහි තරග කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නැතහොත් ශ්‍රී ලංකාවට මාරු කිරීමට සිදුවිය හැකිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකින් එකක් හෝ නැතිව ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රූපවාහිනී අයිතිවාසිකම් හිමි හිමි සමාගම එකඟ නොවීමයි. 

නවතම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව මේ වන විට 1 වැනි ස්ථානයේ සිටී. පාකිස්තානු කණ්ඩායම 4 වැනි ස්ථානයේ සිටී. මෙම ශ්‍රේණිගත ස්ථාන වලින් කියැවෙන්නේ ඔවුන්ගේ ක්‍රිකට් දස්කම්වල සාර්ථකත්වයයි. ශ්‍රේණිගත කිරීම් අනුව මෙම කණ්ඩායම් දෙක කොතැනක සිටියත් ඉන්දු - පාකිස්තානු තරගයක් ලෝකයේ කොතැනක පැවතියද, ඒවා අති විශාල ප්‍රේක්‍ෂක අවධානයක් දිනාගන්නකි. දෙරට අතර පවතින දේශපාලනික එදිරිවාදීකම ඊට ප්‍රධානතම හේතුවයි. 

කෙසේ වෙතත් 2023 වසර අගදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවට පැමිණි අතර ඉන්දියාවේදී තරග 9 ක් ක්‍රීඩා කළේය. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් සැලකෙන අහමදාබාද්හිදී පැවැති ඉන්දු - පාකිස්තානු තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක ජයක් අත්කර ගත්තේය. 
2023 ලෝක කුසලාන තරගාවලියට පෙරත් මෙවැනිම මත ගැටුම් තිබුණ නමුත් 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානය බලා යාමේ පොරොන්දුව මත පාකිස්තානු කණ්ඩායම 2023 නොවැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණියේය. එහෙත් දැන් නැවතත් පැරණි මතගැටුම අරම්භ වී තිබේ. 
“ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යවන්න ඉන්දීය අගමැති මෝදි කැමතිම නෑ.. ඒත් මේ ගැන දැන්ම මොකවත් කියන්න වේලාසන වැඩියි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසීය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සැසිවාරයට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා සහ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි මහතා අද (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ජේ ෂා මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ සභාපතිවරයා වීමේ අපේක්‍ෂාවෙන් සිටින බවත් දැනගන්නට ඇති නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. ජේ ෂා මහතා දැනට ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයාය. 

ශූරයන්ගේ කුසලාන තරගාවලිය 2025 පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා පැවැත්වෙයි. දැනට සූදානම් කර ඇති තරග කාලසටහන අනුව ඉන්දීය කණ්ඩායමේ සියලුම තරග ලාහෝරයේදී පැවැත්වීමට නියමිතය. 


අදහස් (0)

ඉන්දු - ලංකා සීතල යුද්ධය කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.