Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උඩපන්දුවෙන් ගිළිහුණු ඇන්ඩසන්ගේ සිහිනය

උඩපන්දුවෙන් ගිළිහුණු ඇන්ඩසන්ගේ සිහිනය

editorial - 2024 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පුවත් සේවයේ ජූලියන් ගයර් විසිනි
(සිංහල සැකසුම - දමින්ද විජේසූරිය)

වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ජේම්ස් ඇන්ඩසන් යයි කීම අතිශයෝක්තියක් නොවේ. ඒ ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව වන 704 ක් හින්දා ම නොව, කොන්ද කඩා නොගෙන, කකුල කඩා නොගෙන, මස්පිඬු ඉරා නොගෙන, දශක දෙකක පමණ කාලයක් ටෙස්ට් පිටියේ හතර කොනටම නොපැකිළව දිව ගිය බැවිනි. වේග පන්දු යවන්නකු වූවත් ස්ලිප් ක්‍රීඩකයන් අතරේ විශිෂ්ටම පන්දු රකින්නෙකු ද වූ බැවිනි. 

ජේම්ස් ඇන්ඩසන් නම් වූ ඔහු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, තරුණ ක්‍රීඩකයන්ට ආදර්ශවත් චරිතයකි. 
ඇන්ඩසන්ගේ අවසන් ටෙස්ට් තරගය නැරඹීමට දහස් ගණනින් ලෝඞ්ස් පිටියට රැස්වූයේ එනිසා වන්නට ඇත. එංගලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉනිමකින් පරාජය කර බොහෝ වේලා ගතවී තිබුණු නමුත්, සිය ටෙස්ට් වීරයා එංගලන්ත ක්‍රීඩකයන්ගේ කාමරයේ ඔබ මොබ යමින් සිටි ආකාරය දැකගන්නට, එංගලන්ත ක්‍රිකට් ලෝලීහු සිය ගණනක් ලෝඞ්ස් පිටියේ රැඳී සිටියහ. 

ලෝඞ්ස් පිටියේ ප්‍රධාන ක්‍රීඩාගාරය ඉදිරිපිට රැස්කමින් හුන් ක්‍රිකට් ලෝලීන් කිසිවකුට ඇන්ඩසන් ක්‍රීඩා නොකළ තරගයක් හෝ තරගාවලියක් ගැන සිතාගැනීමට නොහැකිව තිබිණ. 2003 දී සිම්බාබ්වේ පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදි සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ, දැනට 41 හැවිරිදි ඇන්ඩසන්ගේ තරග දිවිය වසර 21 කි. ඔවුන් එතැන රැස්වී සිටියේ ඇන්ඩසන් දැකගැනීමේ අරමුණ ඇතිවය 

ක්‍රිකට් ලෝලීන්ගේ සිතැඟි වටහාගත් මේ පරිණත ක්‍රීඩකයා ක්‍රීඩක විවේකාගාරයේ සඳලු තලයට පැමිණ, කිසිවක් සිහිපත් වූ නියායෙන් ආපසු ගියේ තමන් නැවත පැමිණෙන බව සන්කරීමෙන් පසුවය. ඉතා ඉක්මනින්ම පයින්ට් එකක් පුරා ‘ගිනස්’ ස්ටවුට් වීදුරුවක් රැගෙන පැමිණි ඇන්ඩසන් ප්‍රේක්‍ෂකයන් සියලු දෙනාටම ආචාර කරමින් ස්ටවුට් වීරුදුව පානය කළේය. 

සිකුරාදා සිය 704 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත් මොහොතේදී ඇන්ඩසන් වෙනුවෙන් නැඟුණු ඔල්වරසන් නාදය සහ අත්පොළසන් හඬත්, ස්ටවුට් වීරුදුවේ උත්තේජනය නරඹන්නන් හා බෙදාගත් අවස්ථාවේ ලද ඔල්වරසන් නාදය සහ අත්පොළසන් හඬත් දෙකක් නොව. එකක් ම වීය. 

වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වෙනත් කිසිම වේග පන්දු යවන්නකු ටෙස්ට් කඩුලු 700 ක් දවාගෙන නැත. ජිමී (ජේම්ස්) ඇන්ඩන්ට වැඩියෙන් ටෙස්ට් කඩුලු දවාගත් ෂේන් වෝන් (708) සහ මුත්තයියා මුරලිදරන් (800) දෙදෙනාම දඟ පන්දු යවන්නෝ වෙති. 

“මේක ටිකක් හැඟීම්බර වෙලාවක්... මේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සුවිශේෂයි” 

“මට විශාල ආඩම්බරයක් දැනෙනවා. අවුරුදු විස්සක් විතර සෙල්ලම් කරලා.. විශේෂයෙන්ම වේග පන්දු යවන්නකු විදිහට. ඒක අදහාගන්නත් බැරි අසීරු අභ්‍යාසයක්”

“මේ තරම් දුරක් එන්න ලැබුණ එක ගැන මම හරිම සතුටු වෙනවා” යයි ඇන්ඩසන් පවසයි. 

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඞ් තොම්සන් මහතා විසින් ඇන්ඩසන් හඳුන්වන ලද්දේ “ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා” වශයෙනි. 

එක පැත්තකින් බලන කල්හි ඇන්ඩසන්ට ටෙස්ට් තරග 188 ක් ක්‍රීඩා කිරීමට අවසර දීම ගැන රිචඞ් තොම්සන් මහතාටම චෝදනා කළ හැකිය. ඇන්ඩසන්ට වඩා ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ අයෙක් වේ නම් ඒ සචින් තෙන්ඩුල්කාර් (ටෙස්ට් තරග 200) පමණි. එහෙත් ඇන්ඩසන් මෙන් වේග පන්දු යවන්නකු නොව සචිත් තෙන්ඩුල්කාර් පිතිකරුවෙකි. වේග පන්දු යවන්නකු හා සංසන්දනය කිරීමේදී පිතිකරුවකුට දැරීමට සිදුවන ශාරීරික වෙහෙස මෙන්ම රඳවාගත යුතු ශාරීරික යෝග්‍යතාව ද අඩු අගයක් ගන්නා බව සත්‍යයකි. 

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩකයන් වාර්ෂික ගිවිසුම් වලට බැඳීමත් සමගින් ඇන්ඩසන්ට තිබුණු අභියෝගය වඩාත් පහසු විය. ඇන්ඩසන්ට කලින් සිටි එංගලන්ත වේග පන්දු යවන්නන්ට නම් ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීම වාගේම එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගිවිසුම් වලට බැඳී සිටීමත් එක හා වැදගත් විය.
 
එංගලන්ත කණ්ඩායමේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් වීමෙන් පසුව, ප්‍රාන්ත තරග සම්බන්ධයෙන් වඩාත් ලිහිල් ඇසකින් බැලීමේ අවස්ථාවක් ඇන්ඩසන්ට තිබුණත්, ඔහු සිය ප්‍රාන්ත කණ්ඩායම වන ලැන්කෂයර් පිල වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකළේය. ඇන්ඩසන්, ලැන්කෂයර් පිල වෙනුවෙන් රඳවාගෙන සිටින පළමු පෙළ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 26.45 කි. 

එහෙත් එය පෙර පරම්පරාවේ ක්‍රීඩකයන්ට නම් කිසිසේත්ම පහසු අභියෝගයක් නොවීය. ටෙස්ට් කඩුලු 300 ක් දවාගත් ලෝකයේ පළමු වැනි වේග පන්දු යවන්නා වූ ෆ්‍රෙඞ් ටෲමන්, ටෙස්ට් තරග 67 කදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 21.57 ක් ලෙස පවත්වා ගත්තේය. 

ටෲමන් ක්‍රීඩා කළ 1950 - 1960 දශක දෙකේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු වූයේ රටවල් 6 ක් පමණි. එබැවින් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී, වෘත්තීය ක්‍රීඩකයකු වශයෙන්, යෝක්ෂයර් පිල වෙනුවෙන් ඕවර දහස් සංඛ්‍යාවක් යැවිමට ටෲමන්ට සිදුවිය. 

බටහිර ඉන්දිය පිල නියෝජනය කළ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන මැල්කම් මාෂල්, ටෙස්ට් තරග 81 කදී, කොදෙව් පිල වෙනුවෙන් කඩුලු 376 ක් ලබාගත්තේ එකකට ලකුණු 20.94 ක් වන පරිදිය. එහෙත් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ඔහු හැම්ප්ෂයර් ප්‍රාන්ත පිලේ ප්‍රධානතම පන්දු යවන්නා ද විය. 

ක්‍රීඩකයන් සංසන්දනය කිරීම පහසු නොවේ. එය සාධාරණ ද නොවන්නේ එක් එක් ක්‍රීඩකයන්ගේ අභියෝග එකිනෙකට වෙනස් වන බැවින් මෙන්ම එය කාලානුරූපීව වෙනස් ආකාරයක් ද ගන්නා නිසාය. 

ඇන්ඩසන් වඩාත් සුවිශේෂී ක්‍රීඩකයකු වන්නේ පන්දුව යැවීමේ වේගය මත නොව, ඔහු පන්දුව ප්‍රමාද වී දෝලනය කිරීමට සමත් වූ බැවිනි. එය කාලයේ අවශ්‍යතාව අනුව ඇන්ඩසන්ට සුවිශේෂී වටිනාකමක් ගෙනැවිත් දුන්නේය. 
කොදෙව් දෙවැනි ඉනිමේදී කඩුලු 9 ක් ලකුණු 103 කට බිඳ වැටී තිබිණ. එංගලන්තයට ටෙස්ට් තරගයේ ජය හිමිකර දෙමින් අවසන් කඩුල්ල දවාගැනීමේ අවස්ථාව ඇන්ඩසන් වෙතින් ගිළිහී ගියේ කොදෙව් පිතිකරු ගුඩාකේෂ් මෝති වෙතින් ඇන්ඩසන්ටම ලැබුණු උඩපන්දුව ගිළිහී යාමෙනි. 

අවසන් පිතිකරුවන් දෙදෙනා වූ මෝති සහ ජේඞ්න් සීල්ස් 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසුව, ගස් ඇට්කින්සන් පැමිණ ජේඞ්න් සීල්ස් දවාගනිමින්, සිය මංගල ටෙස්ට් තරගයේදීම 12 වැනි කඩුල්ලත් හිමිකර ගත්තද පසුව ගොසින් ඇන්ඩසන්ගෙන් සමාව අයැද සිටියේය. 
“එයා (ඇන්ඩසන්) අනෙක් අය දස්කම් දක්වනවා බලා ඉන්න කැමති කෙනෙක්”

“පසුගිය අවුරුද්දේ බ්‍රෝඩි (ස්ටුවර්ට් බ්‍රෝඞ්) කළා වගේම, අන්තිම කඩුල්ලත් දවාගන්න ජිමී කැමැත්තෙන් ඉන්න ඇති. ඒත් අලුත්, තරුණ ක්‍රීඩකයෙක් ඇවිල්ලා, එයාගේ මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 12 ක් දවාගත්ත එක ගැනත් ඔහු (ඇන්ඩසන්) සතුටු වෙන්නත් ඇති” 

“එයා සැබෑ ක්‍රීඩකයෙක්. නියම හාදයෙක්. උසස් මිනිසෙක්” එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් කීවේය. 


අදහස් (0)

උඩපන්දුවෙන් ගිළිහුණු ඇන්ඩසන්ගේ සිහිනය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.