Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය කඩුලු 3 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

එංගලන්තය කඩුලු 3 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 44 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කළ ඬේවිඞ් විලී එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 38 ක් වන විට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්වයකට මුහුණපා සිටි එංගලන්ත කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් නායක ඔයින් මෝගන් (69) සහ ජෝ රූට් (50), සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 129 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 74 කදී වාර්තා වූ මෝගන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් වූ අතර පන්දු 71 කදී වාර්තා වූ රූට්ගේ අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය. 

ඇන්ඩෘ ටේ, බිලී ස්ටැන්ලකේ සහ මයිකල් නේසර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වුවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 47 ක් අවසානයේ ලකුණු 214 කට සීමා කිරීමට ලයෑම් ප්ලන්කට් සහ මුයින් අලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ප්ලන්කට් සහ අලී කඩුලු 3 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම අඩපණ කළහ. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 64 කදී ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඇස්ටන් ඒගර් (40) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 84 ක් සම්බන්ධතාවත් ගොඩනැගීමටද මැක්ස්වෙල් සමත් විය. 

ඕස්ට්‍රේලියාව - ඕවර 47 කදී සියලු දෙනා දැවී 214
(ඒරන් ෆින්ච් 19, ෂෝන් මාෂ් 24, මාකස් ස්ටොයිනිස් 22, ග්ලේන් මැක්ස්වෙල් 62, ඇස්ටන් ඒගර් 40, ඇන්ඩෘ ටේ 19, ලයෑම් ප්ලන්කට් 42/3, මුයින් අලී 43/3, රෂීඞ් ඛාන් 36/2) 

එංගලන්තය - ඕවර 44 කදී කඩුලු 7 ක් දැවී 218 
(ජොනී බෙයාස්ට්‍රෝ 28, ජෝ රූට් 50, ඔයින් මෝගන් 69, මුයින් අලී 17, ඬේවිඞ් විලී නොදැවී 35, ඇන්ඩෘ ටේ 42/2, බිලී ස්ටැන්ලකේ 44/2, මයිකල් නේසර් 46/2) 

-036


අදහස් (0)

එංගලන්තය කඩුලු 3 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.