Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට දැවැන්ත අභියෝගයක්

එංගලන්තයට දැවැන්ත අභියෝගයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ඉතිහාසයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ තුන්වැනි විශාලතම සම්බන්ධතාව අවසන් නොකළ ජේසන් හෝල්ඩර් (නොදැවී 202) සහ ෂේන් ඩව්රිච් (නොදැවී 116) දෙදෙනා, බ්‍රිජ්ටවුන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමට නම් ලකුණු 628 ක් රැස්කරන ලෙස එංගලන්තයට අභියෝග කළහ. තරගයේ තුන්වැනි දිනය වූ සිකුරාදා (25) ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය කිසිවකු නොදැවී ලකුණු 56 ක් රැස්කරගෙන සිටියේය.

එංගලන්ත දෙවැනි ඉනිමේදී කඩුලු නොදැවී තිබුණ නමුත් තරගයේ පළමු දින තුන ඇතුළත ඉනිම තුනක් සම්පූර්ණයෙන්ම අවසන් වීම නිසා පරාජයෙන් ගැලවීමට නම් තවත් දින දෙකක් පුරා කඩුලු ආරක්‍ෂා කරගැනීමට ඔවුන්ට සිදුවී තිබේ.

දෙවැනි දිනය වූ බ්‍රහස්පතින්දා (24 වැනිදා) කඩුලු 18 ක් ඇද වැටිණ. එහෙත් සිකුරාදා දිනය පුරාම එකම කඩුල්ලක් හෝ නොවැටීම කෙන්සිංග්ටන් ඕවල් තණතීරුවේ උඩු යටිකුරු වීමට කදිම නිදසුනකි.

ද්විත්ව ශතකයක් ලබාගනිමින් තමන්ගේ නමත් කොදෙව් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් කළ ජේසන් හෝල්ඩර් කඩුලු 6 කට 415 ක් ලබා සිටියදී කොදෙව් ඉනිම නවතා දැමුවේ තේ පානයෙන් පසු මඳ වේලාවක් හෝ එංගලන්ත පිලට පන්දුවට පහර දීමට ආරාධනා කරමිනි. ඔහුගේ අරමුණ වන්නට ඇත්තේ එංගලන්ත කඩුල්ලක් හෝ දෙකක් දවාගැනීම වුවත් එය අසාර්ථක උත්සාහයක් විය.

කොදෙව් නායකයා ලබාගත් ද්විත්ව ශතකය අංක 8 පිතිකරුවකු ටෙස්ට් තරගයකදී ලබාගත් තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ඊට ඉදිරියෙන් සිටින්නේ පාකිස්තානයේ වසිම් අක්රම් (නොදැවී 275) සහ  ඉමිටියාස් අහමඞ් (209) පමණි.

හතරේ පහර 23 ක් සහ හයේ පහර 8 ක් ද සහිතව, පන්දු 229 කින් ලකුණු 202 ක් ලබාගත් හෝල්ඩර් ලකුණු ලබාගත්තේ එංගලන්ත පන්දු යවන්නන්ට සිතාගැනීමටත් නොහැකි අයුරිනි. වඩාත් තැන්පත් පිතිකරුවකු ලෙසින් ශතකයක් ලබාගත් කොදෙව් කඩුලු රකින්නා වූ ෂේන් ඩව්රිච් (116) සහ හෝල්ඩර් දෙදෙනා අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 295 කි.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 77 කට සීමා කළ හෙයින් කොදෙව් පිලට ඕනෑවටත් වඩා විශාල මුල් ඉනිමේ වාසියක් තිබිණ. එහෙත් තමන්ගේ ද්විත්ව ශතකය ලබාගැනීමටත් වඩා කොදෙව් දෙවැනි ඉනිම තව තවත් දිගු කිරීමට හෝල්ඩර් අදහස් කරන්නට ඇත්තේ එංගලන්ත ක්‍රීඩකයන් තව දුරටත් අසහනට පත්කිරීමේ අභිලාෂයෙන් විය හැකිය. එසේ වුවත් අපහසුවකින් තොරව තම කඩුලු රැකගත් කීටන් ජෙනිංග්ස් (11) සහ රෝරි බර්න්ස් (39) දෙදෙනා මුහුණ දුන් ඕවර 20 දී ගනුදෙනුව බේරා ගත්හ.

මුල් ඉනිමේදී ලකුණු 77 කට දැවී ගියත් කොදෙව් දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් ලකුණු 61 කට දවාගැනීමත් සමගම එංගලන්ත පන්දු යවන්නෝ තරගයේ ජයක් ගැන බලාපොරොත්තු තැබූහ.  එතැන් සිට ෂිම්රන් හෙට්මියර් සමග එක්ව ලකුණු 120 දක්වා ලකුණු පුවරුව ඉදිරියට ගෙන ගිය ෂේන් ඩව්රිච්, සිය නායකයා පිටියට පැමිණි පසුව පන්දු යවන්නන් මට්ටු කිරීමේ අවස්ථාව ඔහුට දුන්නේය.

හොඳම ආරක්‍ෂාව ආක්‍රමණය යයි අදහස් කළ බැවින්දෝ ඉවක් බවක් නැතිව එංගලන්ත පන්දු යවන්නන්ට පහර දුන් ජේසන් හෝල්ඩර්, එංගලන්තය අපේක්‍ෂා නොකළ ඉසව්වකට තරගය ඇදගෙන යමින් සංචාරකයන් පිරිස වල්මත් කර දැම්මේය.


බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 289 යි
එංගලන්තය - පළමු ඉනිම 77 යි
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම කඩුලු 6 ට 415

(ක්‍රෙග් බැත්වෙයිට් 24, ජෝන් කැම්බෙල් 33, ෂිම්රන් හෙට්මියර් 31, ෂේන් ඩව්රිච් නොදැවී 116, ජේසන් හෝල්ඩර් නොදැවී 202, මොයින් අලී 78/3)

එංගලන්තය  - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 56
(රෝරි බර්න්ස් නොදැවී 39, කීටන් ජෙනංග්ස් නොදැවී 11)

 


අදහස් (0)

එංගලන්තයට දැවැන්ත අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.