Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට ලකුණු 323 ක දැවැන්ත ජයක්
වෙලිංටන් ටෙස්ට් තරගය

එංගලන්තයට ලකුණු 323 ක දැවැන්ත ජයක්

editorial - 2024 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් යනු පුදුමාකාර ක්‍රීඩාවකි. ඉන්දියාවේදීම ඉන්දීය කණ්ඩායම 3-0 ක් ලෙසින් පරාජය කළ නවසීලන්තය, සිය මව්බිමේදීම එංගලන්තය හමුවේ 2-0 කින් පරාජය වී තිබේ. තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී තවත් තරගයක් ඉතිරිව ඇත. එංගලන්තය නවසීලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 17 කට පසුවය. 

එංගලන්තය සහ නවසීලන්තය අතර වෙලිංටන් හි බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 323 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. සිව්වැනි ඉනිමේදී ලකුණු 583 ක ඉලක්කයක් කරා ගිය නවසීලන්ත කණ්ඩායම ලකුණු 259 කට දැවී ගියේය. 

නවසීලන්තයේ හිටපු නායකයා වන බ්‍රෙන්ඩන් මැකලම්ගේ ගුරුහරුකම් මත, ඔහුගේම සුරතල් නාමයෙන් (බස්) හැඳින්වෙන ‘බස්බෝල්’ රටාවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන එංගලන්තයට නවසීලන්තය පරාජය කිරීමට අවශ්‍ය වූයේ දින 3 ක් පමණි. 

එංගලන්ත දෙවැනි ඉනිම අද උදෑසන දිගහැරුණු අවස්ථාවේදී ජෝ රූට් ඔහුගේ 36 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. සාම්ප්‍රදායික පන්නයේ ටෙස්ට් පිතිකරුවකු වන නමුත් ජෝ රූට් ද දැන් දැන් ‘බස්බෝල්’ ක්‍රමයට අනුගත වෙමින් සිටී. රූට් පන්දු 130 කින් ලබාගත් ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් වී තිබිණ. 

එංගලන්ත නායකයා ලකුණු 49 දී නැවතී සිටියද කඩුලු 6 කට ලකුණු 427 ක් ලබා සිටියදී ඉනිම නතර කිරීමට ඔහු තීරණය කළේය. ඒ සමගම නවසීලන්තයට ඉලක්ක දෙකක් ලැබිණ. එක්කෝ ලකුණු 583 ක් ලබාගනිමින් තරගය ජයගත යුතුය. නැතහොත් සම්පූර්ණ දින තුනක පමණ කාලයක් සිය කඩුලු ආරක්‍ෂා කරගත යුතුය. එහෙත් වත්මන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ මේ දෙකම අසීරු අභියෝග විය. 

නවසීලන්තය වෙනුවෙන් ටොම් බ්ලන්ඩ්ල් (115) ශතකයක් ලබාගත් නමුත් එයින් සිදුවූයේ එංගලන්තයේ ජයග්‍රහණය ප්‍රමාද කිරීම මිස අනෙකක් නොවේ. විනාඩි 149 ක් පිටියේ රැඳුණු නවසීලන්ත කඩුලු රකින්නා පන්දු 102 කින් ලබාගත් ලකුණු 115 ට හතරේ පහර 13 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය. බ්ලන්ඩ්ල්ගේ ලකුණු 115 න් 82 ක්ම පැමිණියේ හතරේ සහ හයේ පහර වලිනි. එය ඔහුට පෞද්ගලික ජයග්‍රහණයක් වූයේ මාස 22 කට පසුව ලබාගත් ටෙස්ට් ශතකයක් බැවිනි. 

දෙවැනි ඉනිමේ මුල්ම ඕවර 14 ඇතුළතදී නවසීලන්තයේ ඉදිරිපෙළ පිතිකරුවෝ හතර දෙනෙකුම ඉනිම අවසන් කරගත්හ. ඒ වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 කට ලකුණු 59 ක් ලෙසිනි. ටොම් බ්ලන්ඩ්ල් ධෛර්යවත් පිතිහරඹයක නිරත වූවත් නවසීලන්තය වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ නේතන් ස්මිත් ලබාගත් ලකුණු 42 යි. 

සෙසු පන්දු යවන්නන් තම තමන්ගේ කාර්යය ඉටු කරද්දී කෙටි පන්දු වැලක් පිතිකරුවන් වෙත යැවූ බෙන් ස්ටෝක්ස් කඩුලු 3 ක් දවාගත්තේය. 

 

එංගලන්තය - පළමු ඉනිම 280 යි
නවසීලන්තය - පළමු ඉනිම 125 යි
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 427 යි

(බෙන් ඩකට් 92, ජේකබ් බෙතීල් 96, ජෝ රූට් නොදැවී 106, හැරී බෲක් 55, ඔලී පෝප් 10, බෙන් ස්ටෝක්ස් නොදැවී 49, ටිම් සවුති 72/2, මැතිව් හෙන්රි 100/2)

නවසීලන්තය - දෙවැනි ඉනිම 259 යි
(ටොම් ලෙතම් 24, ඩැරිල් මිචෙල් 32, ටොම් බ්ලන්ඩ්ල් 115, ග්ලෙන් පිලිප්ස් 16, නේතන් ස්මිත් 42, ක්‍රිස් වෝක්ස් 20/2, බ්‍රයිඩන් කාර්ස් 53/2, ෂොයිබ් බෂීර් 110/2, බෙන් ස්ටෝක්ස් 05/3)

- 213


අදහස් (0)

එංගලන්තයට ලකුණු 323 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.