එක්දින පිලෙන් මාලිංග හැලෙයි
පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ලසිත් මාලිංග ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ආබාධ තත්ත්වයකට ලක්ව සිටි මාලිංග, එම ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීමෙන් අනතුරුව සහභාගි වූ එක්දින තරගාවලි දෙකේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් විය. ජූනි සහ ජූලි මාස වලදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී මාලිංග නැවතත් තරග බිමට අවතීර්ණ වූ අතර එහිදී තරග 5 කට ක්‍රීඩා කළ ඔහුට ඕවර 35 ක් යවමින් ලකුණු 199 කට දවාගත හැකි වූයේ කඩුලු 4 ක් පමණි.
ඉන් පසුව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පැවැති ඉන්දියා තරගාවලියේදීද මාලිංගට කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වූ අතර තරගය 5 කදී ඕවර 39 ක් යැවූ ඔහුට එහිදී ලකුණු 243 ක් දෙමින් දවාගත හැකි වූයේ කඩුලු 3 ක් පමණි.
කෙසේ වුවත් ඉන්දීය තරගාවලිය තුළදී සිය 300 වැනි එක්දින කඩුල්ල දවාගැනීමෙන් අනතුරුව මාලිංග කියා සිටියේ තවමත් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවත්, කණ්ඩායමට තමාව අවශ්‍යය නම් ඕනෑම වේලාවක කණ්ඩායම වෙනුවෙන් තමාගේ උපරිමය ලබාදීමට සූදානමින් සිටින බවත්ය.
බත්කෙණ්ඬේ ආබාධයකට ලක්ව සිටින හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ටද මෙම තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇති අතර ඔහුට අමතරව ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියේදී කණ්ඩායමට ඇතුළත්ව සිටි වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ධනුෂ්ක ගුණතිලක, ඩිල්ෂාන් මුණවීර සහ මාලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයන්ද මෙම තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත් කර නොමැත.
මේ අතර සිම්බාබ්වේ තරගාවලියේදී මෙන්ම ඉන්දීය තරගාවලියේදීද කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ. චන්දිමාල්ට අමතරව ඉන්දීය තරගාවලියට ක්‍රීඩා නොකළ චාමර කපුගෙදර, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ යන ක්‍රීඩකයන්ටද පාකිස්තාන තරගාවලිය සඳහා සහභාගි වීමේ වරම් හිමිව තිබේ.