Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින සංචිතයෙන් දසුන් හැළෙයි

එක්දින සංචිතයෙන් දසුන් හැළෙයි

editorial - 2024 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම හිටපු නායකයා වූ දසුන් ශානකගේ නම හැළී ගොස් තිබේ. 

පසුගිය මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹ පැවැති තරගාවලියේදී සංචිතයට ඇතුළත්ව සිටි පිතිකරු නුවනිදු ප්‍රනාන්දු සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද එක්දින සංචිතයෙන් ඉවත් කර ඇත.

ඇෆ්ඝනිස්තානු පිලට එරෙහිව, ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ පැතුම් නිශ්ශංක එක්දින තරගාවලිය සඳහා කැඳවා ඇතත් කණ්ඩායමේ තුන්වැනි ආරම්භක පිතිකරුවා වශයෙන් ෂෙවෝන් ඩැනියෙල් තවදුරටත් සංචිතයේ රඳවාගෙන තිබේ. 

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානයත් අහිමි කරගත් දසුන් ශානක, සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලියේදී තරග දෙකකදී ලබාගත්තේ ලකුණු 8 ක් සහ 7 ක් පමණි. 
දසුන්ගේ අවසන් එක්දින ඉනිම 21 දී දක්නට ඇත්තේ එකම අර්ධ ශතකයකි.  දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එක්දින සංචිතයට පැමිණ තිබේ. 

වනිඳු හසරංග ප්‍රමුඛතම පා දඟ පන්දු වශයෙන් කණ්ඩායමට එක්වන බැවින් වැන්ඩර්සේට ස්ථානය අහිමි වී ඇත. 

වෛරස් උණ රෝගයක් හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරඟාවලියට ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද දිගු ඉනිමක් කරා යාමේ හැකියාවෙන් යුතු අයෙකි. 

එක්දින ශතක 3 ක් සහ අර්ධ ශතක 13 ක හිමිකරුවකු වන පැතුම් නිස්සංක එක්දින තරග 49 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1728 කි. ඉනිමක සාමාන්‍යය 38.40 කි. ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ නිස්සංක පසුගිය සතියේදී පැවැති ජාතික සුපර් ලීග් (සිව්දින) තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 151 ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලිය ලබන සිකුරාදා (9 වැනිදා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලිය තරග 3 කින් සමන්විතය. 


ශ්‍රී ලංකා එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, ෂෙවෝන් ඩැනියෙල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, දුෂ්මන්ත චමීල්, අකිල ධනංජය සහ වනිඳු හසරංග.


අදහස් (1)

එක්දින සංචිතයෙන් දසුන් හැළෙයි
  • Pradeep Kumara Thursday, 08 February 2024 12:33 PM

    වේගයෙන් පන්දුවට පහර දීමට හැකියාවක් ඇති දසුන් ශානක වැනි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අංක 7 ස්ථානයට නම් කිරීම ඉතාමත් වැදගත්. ඔහුගේ පහුගිය ඉනිම්වලදී යම් අසාර්ථකත්වයක් තිබූ බව සැබෑ වුවත් ඕනෑම ක්‍රීඩකයෙකුට එවන් අසාර්ථක කාලයක් තිබීම සාමාන්‍ය දෙයකි. ඔහු වැනි ක්‍රීඩකයෙක් කණ්ඩායමට අහිමි කර ගැනීම කිසිසේත් සුදුසු නැත.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.