Last Update  :  2025-02-21 11:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එන්.සී.සී. වේලාසනින්ම අවසන් තරගයට

එන්.සී.සී. වේලාසනින්ම අවසන් තරගයට

editorial - 2025 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නිමාවීමට තවත් සතියක් ඉතිරිව තිබියදී ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මේ වන විට තරග 7 කට ක්‍රීඩා කර ඇති එන්.සී.සී. කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන සෙසු තරග 4 ජය පැරදුමකින් තොරව නිමා කරගනිමින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 102.41 කි

මෙම සති අන්තයේදී කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව තවත් තරගයකට සහභාගි වීමට නියමිතව සිටියද, මේ වන විටත් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථාන දෙකෙන් එකක් වෙන්කරවා ගැනීමට එන්.සී.සී. ක්‍රීඩකයෝ සමත්ව සිටිති. මේ දක්වා තරගාවලිය තුළ අපරාජිතව සිටින කණ්ඩායම් 4 න් එකක් වන එන්.සී.සී. කණ්ඩායම, ඒ අතරින් ලකුණු 100 සීමාව ඉක්මාවා ගිය එකම කණ්ඩායමද වේ. 

‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන මුවර්ස් කණ්ඩායම තරග 3 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී, සෙසු තරග 3 ජය පැරදුමකින් තොරව අවසන් කරගෙන ලබා සිටින ලකුණු සංඛ්‍යාව 83.33 කි. කෙසේ වුවත් මෙම සතියේදී මහනුවර රේගු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත්තද, එය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සඳහා ඔවුන්ට ප්‍රමාණවත් නොවනු ඇත. 

තවමත් අපරාජිතව සිටින කණ්ඩායම් 4 න් එකක් වන සී.සී.සී. කණ්ඩායම තරගය 3 ක් ජයගෙන, සෙසු තරග 4 ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු 79.355 ක් ලබා ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඔවුන්ටද අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා මෙම සති අන්තයේදී බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ප්‍රමාණවත් නොවනු ඇත. 

‘ඒ’ කාණ්ඩයෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම බවට පත්වීම සඳහා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර ද්වන්ද සටනක් නිර්මාණය වී තිබේ. මේ වන විට කණ්ඩායම් දෙකම තරග 3 බැගින් ජයගෙන, සෙසු තරග 4 ජය පැරදුමකින් තොරව නිමා කරගෙන පිළිවෙලින් ‘ඒ’ කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවේ.

එහිදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ලකුණු 86.26 ක්ද, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ලකුණු 81.285 ක්ද ලබා සිටියි. මෙම සති අන්තයේදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයද, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව කෝල්ට්ස් ක්‍රිකට් සමාජයද තරග වැදීමට නියමිතය. එම තරග දෙකේ ප්‍රතිඵලයන්ට අනුව ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් මහ තරගයට පිවිසෙන කණ්ඩායම තීරණය වනු ඇත. 

 


අදහස් (0)

එන්.සී.සී. වේලාසනින්ම අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.