Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එෆ්. ඒ. කුසලානය කොළඹට

එෆ්. ඒ. කුසලානය කොළඹට

Dilrukshi - 2015 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හැට අට වැනි විනාඩියේ දී කේ.ඒ.ඞී. මධුශංඛ රැස්කළ ගෝලය නිසා අවසන් මහා තරගයට වරම් ලබාගත් පළමු අවස්ථාවේදීම එෆ්.ඒ. පාපන්දු කුසලාන දිනාගැනීමේ දුර්ලභ දස්කම දැක්වීමට කොළඹ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය. පිට පිටම අවසන් මහ තරග දෙකකට තේරුණු කළුතර බ්ලූස්ටාර්ස් ක‍්‍රීඩා සමාජයේ එෆ්. ඒ. කුසලාන දිනාගැනීමේ අපේක්‍ෂා මෙවරත් බිඳ වැටිණ.


කාගිල්ස් ෆුඞ් සිටි අනුග‍්‍රහයෙන් පැවැති එෆ්.ඒ. කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ(සෙනසුරාදා) සුගතදාස පිටියේදී පැවැත්වුණි.


ඊට අතිවිශාල ජනකායක් සහභාගි වූ අතර මෑත කාලයේ සුගතදාස පිටියේදී පැවැති පාපන්දු තරගයකට සහභාගි වූ විශාලතම ජනකාය එය වේ. පේ‍්‍රක්‍ෂකයන් 15,000 කට ආසන්න පිරිසක් එහිදී තරගය නැරඹුහ.


කොළඹ පිල ජයග‍්‍රහණය කරා ගෙන ගිය කේ. ඒ. ඞී. මධුශංඛ ඒ වෙනුවෙන්ම අවසන් මහ තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනිමින් මුදලින් රුපියල් 50,000 ක් ද හිමි කර ගත්තේය.


තරගයේ පළමු භාගය නිලකුණු තත්ත්වයක් මැද අවසන් විය. 68 වැනි විනාඩියේ දී ඒ.සී. ෆ‍්‍රෑන්ක් යොමු කළ පන්දුව දැලට යාර හතක් පමණ ආසන්නයටම ළඟාවෙමින් බිම දිගේ කෙළින්ම පන්දුව දැළ තුළට විදිමින් ගෝලයක් බවට පත් කිරීමට එහිදී මධුශංඛ සමත් විය. මෙම අවසන් මහා තරගය පුරා කොළඹ කණ්ඩායමේ දස්කම් කැපී පෙණුනු අතර ඔවුන්ට කෝණ පහර 10 ක අවස්ථාව උදාවෙද්දි ප‍්‍රතිවාදි කළුතර ක‍්‍රීඩකයන්ට මුළු තරගය පුරා හිමිවූයේ කෝණ පහර තුනක් පමණි.


අවසන් මහ තරගයෙන් පසුබෑවත් මෙවර තරගාවලියේ දක්‍ෂතම ගෝල රකින්නා තේරුණේ බ්ලූස්ටාර්ස් කණ්ඩායම වෙතිනි. එහි දැල් රකින්නා වන මංජුල ප‍්‍රනාන්දුට අවසන් මහ තරගයේදී මධුශංකගේ ගෝලය වළක්වාගත නොහැකි වුවත් එය ඔහුට මෙම සම්මානය අහිමිවීමට හේතු නොවීය.


සෝන්ඩර්ස් කණ්ඩායමේ රුවන් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි සම්මාන දිනා ගත්තේය. සෝන්ඩර්ස් කණ්ඩායම පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ කණ්ඩායමට පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවතට විසි විය. මෙවර තරගාවලියේ විශේෂ සම්මාන දිනාගත් ක‍්‍රීඩකයන් නියෝජනය කළ කණ්ඩාම් එහි අවසන් වටයේ සිට තරග වැදුණු කණ්ඩායම් වීමද කැපී පෙනේ.


කොළඹ කණ්ඩායමට නායකත්වය දුන් රූමී මොහිදින් එම කණ්ඩායම එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගයට තේරුණු පළමු අවස්ථාවේදීම කුසලාන දිනා දීමට භාග්‍යය ලැබුවා සේම ක‍්‍රීඩා සමාජ දෙකකට නායකත්වය දෙමින් එම ක‍්‍රීඩා සමාජ දෙකටම එෆ්. ඒ. කුසලාන දිනාදීමටද භාග්‍යය ලැබූ නායකයෙකි.


රත්නම් ක‍්‍රීඩා සමාජයේ වසර ගණනාවකට පෙර කටයුතු කළ ඔහු එහිදී එම ක‍්‍රීඩා සමාජයට හය වතාවක් කුසලාන දිනාදෙමින් එහි නායකත්වය දරා තිබේ.


එෆ්. ඒ කුසලාන අවසන් මහ තරගයේ ප‍්‍රධාන විනිසුරු ලෙස එෆ්.එම්. ඉර්ෂාන් මහතා කටයුතු කළේය. ඔහු මෙවර තරගාවලියේ හොඳම විනිසුරුටද සම්මාන දිනා ගත්තේය.


අවසන් වරට 2012 ශූරතාව දිනාගත් නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් බ්ලූස්ටාර්ස් කණ්ඩායමදගිය වර ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් කොළඹ කණ්ඩායමද මෙවර අවසන් මහ තරගයට ප‍්‍රවේශ වූහ.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ඇතුළු අනුග‍්‍රාහක කාගිල්ස් ෆුඞ් සිටි ආයතනයේ ප‍්‍රධානීහු රැසක් සහභාගි වූහ.


ජයග‍්‍රාහි කොළඹ කණ්ඩායමට රුපියල් ලක්‍ෂ හතක්ද අනුශූරතාලාභී බ්ලූස්ටාර්ස් කණ්ඩායමට රුපියල් ලක්‍ෂ පහක්ද ප‍්‍රදානය කෙරුණි.

 

 

 

 

 


අදහස් (0)

එෆ්. ඒ. කුසලානය කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.