Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එෆ්.ඒ. කුසලාන අවසන් තරගයට චෙල්සි - ලිවර්පූල්

එෆ්.ඒ. කුසලාන අවසන් තරගයට චෙල්සි - ලිවර්පූල්

editorial - 2022 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ පැරණිතම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට චෙල්සි ක්‍රීඩා සමාජය සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජය සමත්ව සිටිති.  මෙම කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය මැයි මස 14 වැනිදා එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ස්ටර්ලින් පවුම් ලක්‍ෂ 18 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 77 ඉක්මවන්නකි. 

1871 දී ආරම්භ කරන ලද එංගලන්තයේ පාපන්දු සංගම් අතර තරගාවලිය අද දක්වාම පැවැත්වෙන ලෝකයේ පැරණිතම පාපන්දු තරගාවලියයි. එයින් පසුව ලෝකයේ බොහෝ රටවලදීත් ‘එෆ්.ඒ’ (පාපන්දු සංගම්) කුසලන නමින් තරගාවලි පැවැත්වේ. පිළිමළුන් පිටුදැකීමේ පදනම අනුව පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තරගාවලිය සඳහා කණ්ඩායම් 1000 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටී. 

ඉකුත් සෙනසුරාදා (16 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 3-2 ක ජයක් වාර්තා කරමින් ලිවර්පූල් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

චෙල්සි ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ඉකුත් ඉරිදා (17 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරමිනි. 

මැන්චෙස්ටර් සිටි සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජ අතර පැවැති අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 3-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ලිවර්පූල් ක්‍රීඩා සමාජය සමත් විය. දෙවැනි අර්ධයේදී ගෝල 2 ක් ලබාගැනීමට මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සමත් වුවද, තරගය ජය ගැනීම සඳහා එම ගෝල 2 ප්‍රමාණවත් නොවීය. 

ඊබ්‍රහිම් කොනාටේ (9 වැනි විනාඩියේදී), සැඩියෝ මේන් (17 සහ 45 වැනි විනාඩි වලදී) ලිවර්පූල් ක්‍රීඩා සමාජය වෙනුවෙන්ද, ජැක් ග්‍රීයලිෂ් (47) සහ බර්නාඩෝ සිල්වා (91 වැනි විනාඩියේදී) මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය වෙනුවෙන්ද එම තරගයේදී ගෝල ලබාගත්හ. 

චෙල්සි සහ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජ අතර පැවැති අවසන් පූර්ව තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ගෝල ලබා ගැනීමට අසමත් විය. කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් ලබාගත් චෙල්සි කණ්ඩායම, අවසන් මහ තරගයේදී ලිවර්පූල් ක්‍රීඩා සමාජයට එරෙහිව තරග වැදීමට අවස්ථාව උදාකර ගත්තේය. 

ලොෆ්ටස් චීක් 65 වැනි විනාඩියේදීද, මේසන් මවුන්ට් 76 වැනි විනාඩියේදීද ගෝල ලබාගමින් චෙල්සි ක්‍රීඩා සමාජයට එම තරගයේ ජයග්‍රහණය අත්කර දුන්හ. 

-036

 


අදහස් (0)

එෆ්.ඒ. කුසලාන අවසන් තරගයට චෙල්සි - ලිවර්පූල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.