Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් පදක්කම මිලදීගන්න අමාත්‍යංශය සූදානම්

ඔලිම්පික් පදක්කම මිලදීගන්න අමාත්‍යංශය සූදානම්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ සහ ඔවුන්ට පදක්කම් වෙන්දේසි කළ නොහැකි ආකාරයේ නව නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (7) පැවසීය. සුසන්තිකා ජයසිංහ මහත්මිය සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා පැවසීය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් පදක්කම දිනාගැනීමට පෙර සහ පසු රජය විශාල වියදමක් දරා ඇති බව කී ඇමතිවරයා ඇයට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් හා යුද හමුදාව මගින් වැටුප් හා දීමනා ලෙස මසකට රුපියල් 1,35,000 ක් ගෙවනු ලබන බවද සඳහන් කළේය.

ඇය කෙලෙහි ගුණ නොදන්නා අයෙකුවීම ගැන කණගාටු වන බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කැබිනට් රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“සුසන්තිකා ජයසිංහ මහත්මියට ඔලිම්පික් ජයග්‍රහණය දක්වා යන තුරු මෙන්ම ඉන් පසුවත් රටක් ලෙස ආණ්ඩුව විසින් විශාල මුදලක් වියදම් කර තිබෙනවා. 2015 දී මේ ආණ්ඩුව පත් වන විට එතුමියට රැකියාවක් තිබුණේ නැහැ. 2016 දී මම එතුමියට කතා කර අමාත්‍යාංශ උපදේශිකාවක් ලෙස බඳවාගෙන රුපියල් 60,000ක වැටුපක් සහ රුපියල් 15,000ක දීමනාවක් වයස අවුරුදු 60 දක්වා ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ගෙනආවා. මට අනුමැතිය ලැබුණේ 2020 වසර දක්වා මේ වැටුප හා දීමනාව දෙන්නයි. එය ඉදිරියේදීත් දෙන්නට බැරිකමක් නැහැ.

“ඒ පත්වීම ගන්නාවිටත් ඇය කීවේ මීට පෙර අමාත්‍යාංශයෙන් රුපියල් 80,000ක් දුන්නා කියලයි. ඒ පත්වීමේ ලිපියේ ඇය කළ යුතු කාර්යභාරයක් තිබෙනවා.”

“අපිට අවශ්‍ය වී තිබුණේ පාසල් 316 ක කුඩා දරුවන් පුහුණු කරවීමටයි. 2028 දක්වා මේ වැඩපිළිවෙල ගෙනයාමට ආණ්ඩුව මුදල් වෙන් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මම සුගත් තිලකරත්න මහතා හා සුසන්තිකා ජයසිංහ මහත්මිය ගෙන්වා ලංකාවේ දැනට සකස් කර ඇති ජාතික, ආසියානු හා ඔලිම්පික් සංචිතවල පුහුණුවීම් කටයුතු, ඔවුන්ගේ ආහාරපාන, ඔවුන්ට පවතින ශාරීරික ආබාධ ආදිය ගැන කවුරුන් හෝ වගකීමක් ගත යුතු බවත් මම සාකච්ඡා කළා. ඒ සම්බන්ධ අවශ්‍ය කටයුතු කරන ලෙසත් මම ඇයට පැවසුවා.

“තමුසෙ එනවා අප්‍රේල් මාසේ පඩි ගන්න” කියා මම සම්මාන උළෙලකදී පැවසූ බවත් ඇය කියා තිබෙනවා. එම කතාව මම ප්‍රතික්‍ෂේප කරනවා. ඇය එම උළෙලේදී මා සිටින තැනම ප්‍රසිද්ධියේ කීවේ ක්‍රීඩා අමාත්‍යාංශය ඇයට මොනවත් නොකළ බවයි. ඒ අවස්ථාවේ ඇමතිවරයා ලෙස මගේ සිතට වේදනාවක් ආවා. ඒ නිසා මම ඇය හමු වී ‘ඔයාට රුපියල් 60,000 ගණනේ පඩි ගෙවන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බව මතක තියාගන්න’ කියා කිව්වේ” යයිද පැවසීය.

අප්‍රේල් මාසයේ දී අමාත්‍යාංශ ලේකම්වරයා ඇයට ලිපියක් යවා තිබෙනවා. ඒ ගැන මා දැන සිටියේ නැහැ. එයිනුත් ඇගේ වැටුප නැවැත්මක් කර තිබුණේ නැහැ.

ඇයගේ පත්වීම් ලිපිය අනුව ඇය තම මාසික වැඩසටහන මාසය මුලදී ලේකම්වරයාට ඉදිරිපත් කර අනුමත කරගැනීමත්, මාසය අවසානයේ ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමක් කළ යුතුයි. ලිපිය මගින් ඉල්ලා තිබෙන්නේ ඒ වාර්තාවයි. පසුගිය කාලයේ ඇය අසනීපයෙන් සිටි නිසා එම වාර්තා රහිතව පවා ගෙවීම් කර තිබුණා. නමුත් එසේ දිගින් දිගටම කළහොත් විගණන විමසුම්වලට පිළිතුරු දෙන්නට අපිට සිදුවෙනවා.

“මේ වාර්තා ඉදිරිපත් කරන්න කීම නිසා තමයි ඇය වැටුප් නවත්වා ඇති බව කියා තිබෙන්නේ. අපි ඇයට කරුණු පැහැදිලි කර නැවත ලිපියක් යොමු කර ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ ඉදිරි කටයුතු සාකච්ඡා කරගන්නා ලෙසත් දැනුම් දුන්නා.”

“ඇය මීට පෙර සිටියේ ඇමතිවරයාගේ උපදේශක ලෙසයි. එසේ වුණා නම් වාර්තා දෙන්න වෙන්නේ නැහැ. නමුත් දැන් ඇය අමාත්‍යාංශ උපදේශිකාවක්. ඒ නිසා කළ යුතු රාජකාරී කොටසක් තිබෙනවා. මට අවශ්‍ය වුණේ ඇය දුක් විඳ මෙතැනට ආ කෙනෙක් නිසා ඇගේ ශක්තිය රටේ තවත් දුප්පත් දරුවන්ට ලබාදෙන්නයි.”

ඇය කළගුණ ගැන දන්නා කෙනෙක් නෙවෙයි. ඇය අසනීප වී දියතලාව රෝහලේ සිටිද්දී කොළඹට ගෙනඒම සඳහා හෙලිකොප්ටරයක් යැව්වේත් මමයි. ඒ ගැන ආරක්‍ෂක ලේකම්තුමාත් දන්නවා. ඇය ගුවනින් කොළඹට ගෙනා පසු ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිලන් රථය සූදානම් කර එතැන් සිට ජාතික රෝහලට ඇතුළත් කරන්න පියවර ගත්තා. අපි ඇයට සැලකුවේ එහෙමයි. දැන් ඇය මෙසේ කතා කිරීම ගැන මම කණගාටු වෙනවා. ඒ වගේම එස්.බී දිසානායක ඇමතිතුමාත් ඇයට පුදුම විදියට උදව් කළා. ඇය ඇකඩමියක් පටන්ගන්න ඕනෑ කී අවස්ථාවේත් මම ලක්‍ෂ 11 ක් ලබාදුන්නා.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පමණක් එතුමියට විශාල මුදලක් වැය කර තිබෙනවා. ඒ ගැන එතුමියට තේරෙන්නේ නැහැ. ඇයගේ ආදායම් පාලනය සම්බන්ධයෙන් ඇයට ඇති ගැටළුවට අපට කරන්න දෙයක් නැහැ. ලැබුණු මුදල්, ගෙවල්, වාහන ආරක්‍ෂා කරගත යුත්තේ ඇයයි.

ඇය ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තා. ඒ වගේම තවත් ආසියානු පදක්කම්, පොදු රාජ්‍ය මණ්ඩල පදක්කම් ගත්ත අය ඉන්නවා. ශ්‍රියානි කුලවංශ මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන්නේ රුපියල් 15,000 ක වැටුපටයි. ඇය සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා අපෙන් සහ පහක දෙයක් ඉල්ලලා නැහැ. පුෂ්පමාලි රාමනායක සහ තවත් බොක්සිං ශූරයින් පවා ඉන්නවා. මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ප්‍රශ්න තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ මහත්මියට පමණක් නෙවෙයි.

එතුමිය මේ ඔලිම්පික් පදක්කම සමඟ පුහුණුකාරිනියක්වීමට කටයුතු කළා නම් මේ වෙද්දී හොඳ පුහුණුකාරියක් වෙන්න තිබුණා. මම එසේ කරන ලෙස ඇයට උපදෙස් පවා දුන්නා. මේ වන විට අපිට අලුත් පුහුණුකරුවන්ගේ අවශ්‍යතාවක් තිබෙනවා. දැන් ඉන්න අයට උසස් පුහුණුදීම සඳහාත් අපි මලල ක්‍රීඩා සංගමය සමඟත් සාකච්ඡා කර අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කර තිබෙනවා.

“ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා නම් එය අමාත්‍යාංශයට වෙන්දේසි කරන්න. මම එය අමාත්‍යාංශයේ තියාගන්නම්. එය රටේ තිබිය යුතු පදක්කමක්. පෞද්ගලිකව එය වෙන්දේසි කිරීමේ අයිතියක් නැහැ.....ඒ පදක්කම වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව කෝටි කීයක් වියදම් කරන්න ඇත්ද? ඒ වගේම අනාගතයේදී මම කිසිම පදක්කමක් තමන් සතු කරගත නොහැකි අයුරින් නීති ගේනවා. එය රජය සතු එකක් විය යුතුයි. වෙන්දේසි කරන්න දෙන්න බැහැ. අපිට අමතරව ඇයට යුද හමුදාවෙනුත් පුහුණුකාරිනියක් ලෙස රුපියල් 60,000ක මුදලක් ගෙවනවා.

එසේ තිබියදී ඇගේ මේ හැසිරීම අපිට මෙන්ම රටටත් හොඳ නැහැ. ඇය කළේ හැම ආණ්ඩුවකම ක්‍රීඩා ඇමතිවරුන්ට දොස්කීමයි.” යනුවෙන් ද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

ඔලිම්පික් පදක්කම මිලදීගන්න අමාත්‍යංශය සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.