Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් මහගෙදරට විරෝධතා ලිපියක්

ඔලිම්පික් මහගෙදරට විරෝධතා ලිපියක්

Nisanka Sandeepani - 2017 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන නොවැම්බර් 9 වැනිදාට කැඳවා තිබෙන ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීමට එරෙහිව ජාතික ක්‍රීඩා සංගම් 11 ක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේ කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා එදින මහ සභා රැස්වීම කැඳවා තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ අනුබද්ධිත ජාතික ක්‍රීඩා සංගම් ගණන 26 කි. ඉන් හයක පිළිගැනීම මේ වන විට අභියෝගයට ලක්ව තිබෙන බව ද වාර්තා වේ. 

ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් 11 දෙනකුගේ අත්සනින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කළ විරෝධතා ලිපියක දැක්වෙන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා එදින මහා සභාවට ඉදිරිපත් කර තිබෙන න්‍යාය පත්‍රයට විරෝධය පළ කරන බවයි. 

මහා සභා රැස්වීම එදින පැවැත්වෙන්නේ නම් දැනට සකස් කර තිබෙන න්‍යාය පත්‍රය සංශෝධනය කළ යුතු බව විරෝධතා ලිපියෙන් පෙන්වා දී තිබේ. 

කමිටුවේ මෙම ලිපියෙන් මැක්ස්වල් ද සිල්වා මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැක ඇතැයි ද වාර්තා වේ. 

වසර 2013 න් පසුව පැවැත්වෙන ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීමේදී සාමාජිකයන් කමිටුවේ වත්මන් ක්‍රියාකාරිත්වය හමුවේ පැන නැගි ගැටලු රැසක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවද ඒ අතර දැනගන්නට ඇත.

කමිටුවේ ගිණුම් වාර්තාවන්හි විනිවිදභාවය පිළිබඳවත් එහි ලේකම්වරයා පසුගිය වසර කීපයක් තිස්සේ යෙදුණු විදෙස් සංචාරවල වියදම් වාර්තාවක් ඉල්ලා සිටීමටත් ඒ අතර ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සූදානමින් සිටින බවත් ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසර කීපයක් තිස්සේ කමිටුවට ලැබුණු විදේශාධාර වැය කිරීම් ගණන් එහිදී ඔවුන් ප්‍රශ්න කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්න ඇත. 

කෙසේ වුවත් ජාතික ක්‍රීඩා සංගමයක ප්‍රධානියෙකු ලංකාදීපයට පැවසුවේ ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වසර කීපයක් තිස්සේ තමන්ගේ මතයට පමණක් කටයුතු කරමින් මේ වන විට ඔලිම්පික් කමිටුව පාලනය කිරීමට පෙළඹී සිටින බවයි. 

“මේ න්‍යාය පත්‍රයට අපි එකඟ නෑ. අපට මේ අවස්ථාව ලැබෙන්නෙ වසර කීපයකට පසුවයි. අපට කතා කරන්න ඔහුට ගොඩක් දේවල් තිබෙනවා. නමුත් කමිටුවේ ලේකම්වරයා තමන්ට උවමනා කරුණු කීපයක් විතරක් සාකච්ඡා කරන්න න්‍යාය පත්‍රයක් හදලා තියෙනවා  යයිද ඔහු වැඩිදුරටත් පැවසීය. නාමයෝජනා කැඳවීම් කර තිබියදී ඔලිම්පික් කමිටුවේ නිලවරණය වසර 2013 දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට යොදා ගෙන තිබියදී එය අත්හිටවනු ලැබීය. 

වසර 2013 දී ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ සංශෝධිත ක්‍රීඩා පනතේ වගන්ති ගණනාවක් අන්තර්ජාතික ඔලිම්පික් ප්‍රඥප්තියට හානිකර බවට අන්තර්ජාතික ඔලිම්පික් සභාව නිවේදනය කිරීමෙන් පසුව එය නිවැරදි කරගන්නා තුරු ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අත්හිටුවීමට තීරණය කෙරුණි. 

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ නව ව්‍යවස්ථාව මේ වන විට සකස් කර අවසන්ව තිබෙන බවට එහි ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණත් එහි කෙටුම්පත් මෙතෙක් තමන්ට ලැබී නැතැයි ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක්ම චෝදනා කර ඇතැයිද වාර්තා වේ. 

නොවැම්බර් 9 වැනිදාට මහ සභා රැස්වීමක් කැඳවා ඇතැයි ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් මෙතෙක් දැනුවත් වී නැති බවත් නමුත් ලේකම්වරයා එය කැඳවීමේ නිවේදනය කමිටුවේ වෙබ් අඩවිය ඔස්සේ මුල්වරට මුදාහැර ඇතැයි ද පැවසේ.  

 


අදහස් (0)

ඔලිම්පික් මහගෙදරට විරෝධතා ලිපියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.