Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් කමිටුව ගැන විමර්ශනයක් අරඹයි

ඔලිම්පික් කමිටුව ගැන විමර්ශනයක් අරඹයි

editorial - 2024 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑමක් කරමින් මෑතකදී පාර්ලිමේන්තුවේදී පළවූ අදහස් සම්බන්ධයෙන් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ඉල්ලීමක් පරිදි ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ නියමයෙන් අභ්‍යන්තර ත්‍රිපුද්ගල කමිටුවක් මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව එම අභ්‍යන්තර විමර්ශන කමිටුවේ සභාපති ධුරයට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකා සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එන්.ආර්.එම්. ධර්මසිරි යන මහත්වරුන් කටයුතු කරති.

කමිටු සාමාජික ජගත් ෆොන්සේකා මහතා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ හිටපු ප්‍රධානියායි. මෙම කමිටුව පත්කිරීම ගැන ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (3) වගන්තිය අනුව තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව එය සිදුකර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් ඉහත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයේ මතයක් ගොඩ නැගී තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ක්‍රීඩා අමාත්‍යාංශයේ මතය ඊට ලබා ගනිමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස මැදිහත් වන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වසර 15 ක් පුරා එකම කණ්ඩායමක් බලයේ රැඳී සිටීමෙන් ජාතික ඔලිම්පික් කමිටුව දූෂණය වී තිබෙන බවයි.

කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ ඇතුළුව සුරංජිත් ප්‍රේමදාස, විශ්‍රාමික මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු, චන්දන ලියනගේ යන එහි වත්මන් නිලධාරීන් පිරිසකගේ නම් සඳහන් කිරීමට ද එහිදී මන්ත්‍රීවරයා කටයුතු කළේය.

වැඩිදුරටත් මන්ත්‍රීවරයා පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ජාතික ක්‍රීඩා සංගම්වල ඡන්ද විකිණෙන බවත් විදෙස් සංචාරවලට යන බව කියා එහි සමහර නිලධාරීන් පිටරටට පැනගොස් අතුරුදන් වී ඇති බවත් වසර 2022 දෙසැම්බර් මාසයේ නිකුත් කළ විගණන වාර්තාවෙන් කමිටුවේ දූෂණය හා හොරාකෑම් පිළිබඳව කරුණු දක්වා තිබෙන බවත්ය.

 මේ අතර මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අභ්‍යන්තර විමර්ශන කමිටුව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයේ වියදම් ඇතුළුව තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් කමිටුවට පැමිණ කරුණු දක්වන ලෙස මේ වන විට දැනුම් දී තිබේ.

මෙම විමර්ශන කමිටුව පසුගිය දෙසැම්බර් 21 වැනිදා පත්කර තිබෙන අතර ඇමැතිවරයාගේ නියමය වන්නේ කමිටුව පළමු වරට රැස්වීමෙන් පසුව  දින 14 ක් ඇතුළත  වාර්තාව තමන් වෙත බාර දිය යුතු බවයි.


අදහස් (0)

ඔලිම්පික් කමිටුව ගැන විමර්ශනයක් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.