Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් කමිටුවේ රැස්වීම ගාලගෝට්ටියකින් අවසන්

ඔලිම්පික් කමිටුවේ රැස්වීම ගාලගෝට්ටියකින් අවසන්

editorial - 2025 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන පරිපාලන ආරවුලට විසඳුම් සෙවීම සදහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කැදවූ සාකච්ඡාවට සහභාගිවී සිටි එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහ ලේකම් ධූරය දැරූ මැක්ෂ්වෙල් ද සිල්වා යන මහත්වරු.


(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ (17) දෙවැනි වරටත් කැදවූ විශේෂ මහ සභා රැස්වීම නැවැත වතාවක් කිසිදු තීරණයක් ගැනීමකින් තොරව ගාලගෝට්ටියකින් අවසන් වූ බව වාර්තාවේ. මෙම තත්ත්වය කෙතෙක්ද යත් ගාලගෝට්ටි තත්වය උත්සන්න වීමෙන්  සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විනාඩි කීපයකට සභාව අත් හිටුවමින් ඉන් පිටව ගිය බවද වාර්තාවේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 27 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා පස්වරුවේ ආරම්භවූ මෙම විශේෂ මහ සහා රැස්වීම රාත්‍රීය දක්වා පැය හතරකට වැඩි කාලයක් ඇදී ගිය බවද එහිදී වාර්තාවේ. එම තත්වය තුළ රැස්වීමේ න්‍යාය පත්‍රයට අනුව කිසිදු තීරණයක් සභා සම්මත කර ගැනීමට නොහැකිවූ බවත් වැඩිදුරටත් වාර්තාවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකාදීප ය කළ විමසුමකදී අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහතා පසුගිය වසර දෙකේ කමිටුවේ ගිණුම් වාර්තා අනුමත කර ගැනීම සදහා විශේෂයෙන්ම කැදවූ මෙම විශේෂ මහ සභා රැස්වීම දෙවතාවක්ම කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශව දැරූ උත්සහයන් පිළිබදව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිළි කරන බව පැවැසීය.

ඔහු මෙසේද පැවැසීය " මෙම සිදුවීම් පිටුපස ඉන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ හා වංචා චෝදනා ලැබූ නිලධාරීන් පිරිසක්. ඉන් පැහැදිළිව  හදුනාගත් පස් දෙනෙකු ගැන මම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිළි කළා.“

“ඔවුන් විසින් ජාතික ඔලිම්පික් කමිටුවට හිමි රුපියල් කෝටි 17 කට වැඩි මුදලක් අයථා ලෙස පරිහරණය කර තිබෙනවා. ඒ ගැන මම වෙනම පැමිණිල්ලක් ජාත්‍යන්තර කමිටුවට කරලා තිබෙනවා. මේ චෝදනාලාභීන් පිරිස තමයි විශේෂ මහ සභා රැස්වීම කඩාකප්පල් කිරීම පිටුපස ඉන්නේ.“

“මම ඔවුන්ට කියන්න කැමතියි. ජාතික ඔලිම්පික් කමිටුවේ හොරු එළවීමේ මම ආරම්භ කළ මෙහෙයුම මොනම හේතුවක් නිසාවත් අත් හරින්නේ නෑ. මෙයින් පසුව ජාතික ඔලිම්පික් කමිටුව ගත යුතු තීරණ සම්බන්ධයෙන් මම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් උපදෙස් ලබන්න තීරණය කළා." යයි ද සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය. 

මේ අතර මෙම විශේෂ මහ සභා රැස්වීමට සහභාගිවූ ජාතික ක්‍රිඩා සංගම් ප්‍රධානියෙක් ලංකාදීපයට මෙසේ පැවැසීය.

"ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා තනි මතයට වැඩ කිරීමට මෑත කාලයේ සිට දරන උත්සහයට ජාතික ක්‍රීඩා සංගම් බහූතරයක් දක්වන විරෝධයේ ප්‍රතිපල තමයි පෙරේදා විශේෂ මහ සහා රැස්වීමේ පෙන්නුම් කළේ. ඔහු විධායක සභාවේ අනුමැතියෙන් තොරව පසුගිය කාලයේ තීරණ රැසක් ගත්තා“

“තවදුරටත් ඔහුට එහෙම හැසිරෙන්න ඉඩ දෙන්න බෑ. විශේෂ මහ සභා රැස්වීමේදී ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් ගෙන් පළ වුණේ ඔහුට ඒ විරෝධයයි." යයි ද එම ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානියා කියා සිටියේය. 

පසුගිය ජනවාරි 10 වැනිදා සිට ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ නියෝගයෙන් එම ධූරයේ කටයුතු කිරීමේ තහනමක් පනවා තිබේ. ඊට එරෙහිව ඔහු අධිකරණයේ නඩු පවරා තිබේ.

ඔහුගේ ඉවත් කිරීමෙන් පසුව මහ ලේකම් ධූරයේ වැඩ බැලිම සදහා පත් කළ උප ලේකම් චන්දන ලියනගේ මහතා චෝදනා කීපයක් මත ඉන් ඉවත් කිරීමට සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මගතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. තමා එම තීරණය ගත්තේ විධායක සභාව රැස් කරමින් බව සුබ්‍රමනියම් මහතා පවසයි.

කෙසේවූවත් ඒ සදහා අලුතින් පත් කළ විධායක සභික රිෆ්ඩි ෆාමී මහතාගේ එම පත්වීමට පෙරේදා පැවැති විශේෂ මහ සහා රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීමට හැකිවී නැත.
    
මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ධූරයෙන් ඉල්ලා අස්වූ ගාමිණී ජයසිංහ මහතා වෙනුවට එම ධූරයේ වැඩ බැලීම සදහා පත්ව සිටින්නේ එතෙක් උප භාණ්ඩාගාරික ධූරය දැරූ ෂිරන්ත පීරිස් මහතාය. හිස්වූ උප සභාපති ධූර දෙකකට හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපති නීලූක කරුණාරත්න හා දේවරාජා හෙන්රි යන මහත්වරුන් පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මේ වන විට පැන නැගී තිබෙන පරිපාලන ආරවුල හමුවේ පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ලබා දෙන අරමුදල් සදහා සීමා පනවා තිබේ. මේ අතර  ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ දැන් පැන නැගී තිබෙන පරිපාලන ආරවුල් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව සියුම් ලෙස අවධානය යොමු කරමින් සිටින බවද වාර්තාවේ.

මෙම තත්ත්වයට සාමකාමී විසදුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ වගකිවයුතු පාර්ශව උනන්දු නොවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් පැනවෙන පූර්ණ තහනමක් දක්වා දුරදිග යාමේ තත්වයක් පැන නැගිය හැකි බවටද මේ වන විට ජාත්‍යන්තරයෙන් අනතුරු අඟවා ඇතැයිද වැඩි දුරටත් වාර්තාවේ.

මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුව සදහා බලතල හිමි වැටුප් ලබන සාමාන්‍යාධිකාරී තනතුරක් ස්ථාපිත කර ඇතැයිද වාර්තාවේ.


අදහස් (0)

ඔලිම්පික් කමිටුවේ රැස්වීම ගාලගෝට්ටියකින් අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.