Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් කල්දැමීමේ පිරිවැය ගෙවන්නේ කවුද

ඔලිම්පික් කල්දැමීමේ පිරිවැය ගෙවන්නේ කවුද

editorial - 2020 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

2020 - ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමේ පිරිවැය ගෙවන්නේ කවුරුන්ද යන්න පිළිබදව ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර මත ගැටුමක් දැන් ඇතිවී තිබේ.

ඔලිම්පික් උළෙල කල්දැමීමේ පිරිවැයෙන් වැඩි ප්‍රමාණයක් ජපානය විසින් දැරීමට ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා එකඟ වූ බව පවසමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය වෙබ් අඩවියේ පළකර ඇති නිවේදනයක් ඉවත් කරන ලෙස ජපානයේ ඔලිම්පික් සංවිධාන කමිටුව ඉල්ලා තිබේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය පිහිට ඇත්තේ ස්විට්සර්ලන්තයේය. තමන් විසින් ඒ ආකාරයේ ඉල්ලීමක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් කර ඇති බව ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක මාසා ටකයා මහතා පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් ප්‍රමාද වීම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 2 සිට ඩොලර් බිලියන 6 ක තරමේ පාඩුවක් වනු ඇතැයි ජපානයේ මාධ්‍ය වාර්තා කරයි. දෙපාර්ශ්වයම නිල ඇස්තමේන්තුවක් ලබා දී නැති නමුත් ‘ටෝකියෝ 2020’ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ මහතා පවසා ඇත්තේ ක්‍රීඩා උළෙල කල්දැමීමේ අලාභය දැවැන්ත එකක් විය හැකි බවයි.

“අගමැතිවරයාගේ නම මේ ආකාරයෙන් උපුටා දැක්වීම සුදුසු නොවේ,” යැයි විනාඩි 90 ක් පුරා පැවැති දුරකථන සම්මන්ත්‍රණයකදී ටකායා මහතා මාධ්‍ය වාර්තාකරුවන් හා පැවසීය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශය සහ ජපානය සඳහා වන පිරිවැය කේන්ද්‍ර කර ගෙන ජපාන වාර්තාකරුවන් විසින් බොහෝ ප්‍රශ්න අසා තිබුණි.

“2020 සඳහා පවත්නා ගිවිසුමේ නියමයන් යටතේ වියදම් පිරිවැය සහ වියදම් අඛණ්ඩව ආවරණය කරන බවට අගමැති අබේ මහතා එකඟ වී තියෙනවා. ඒත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දිගටම එහි පිරිවැයට වගකිව යුතුයි” යැයි ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා පිළිබඳව නිතර අසනු ලබන ප්‍රශ්න වලින් එකකට පිළිතුරු ලෙස පළවී තිබිණ. අගමැති ෂින්සෝ අබේ මහතාගේ නම භාවිතා නොකළ නමුත් මීට දින 10 කට පෙර ජර්මානු පුවත්පතක් වන ‘ඩයි වෙල්ට්’ සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීද අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් මහතාද ඒ දේම කියා තිබුණි.
 
“කල් දැමීමෙන් ඇතිවන අතිරේක පිරිවැය සම්බන්ධව එවැනි ගිවිසුමක් නෑ. මේ සම්බන්ධයෙන් මත ගැටුමක් තිබුණත් ක්‍රීඩා උළෙලේ ප්‍රමාදය සම්බන්ධයෙන් ඇතිවියහැකි අලාභයන්ට ගෙවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විවාදයක් නෑ........ එය ජපන් පාර්ශවයයි. නමුත් එය සංවේදී ප්‍රශ්නයක්. විශේෂයෙන් පැතිරෙන වෛරසයක් විසින් ඇති කරන ලද ආර්ථික පසුබෑමකදී” යැයි අගමැති අබේ මහතාගේ ප්‍රකාශක යොෂිහයිඞ් සුගා ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට අභියෝග කරමින් කියා සිටියේය.

ඔලිම්පික් උළෙල සංවිධානය කිරීම සඳහා ජපානය ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක් වියදම් කරයි. නමුත් රජයේ විගණන වාර්තාවක් පවසන්නේ සැබෑ වියදම එමෙන් දෙගුණයකටත් වඩා වැඩි බවයි. පුද්ගලික අනුග්‍රාහකයන් විසින් සපයන ඩොලර් බිලියන 5.6 ක් හැර අන් සියල්ලම මහජන මුදල් වේ.

ටෝකියෝ ක්‍රීඩා උළෙල සඳහා 2013 දී අත්සන් කරන ලද සත්කාරක නගර ගිවිසුමේ නියමයන් යටතේ, ටෝකියෝ නගරය ජපාන ඔලිම්පික් කමිටුව සහ ප්‍රාදේශීය සංවිධායකයින් ටෝකියෝ ක්‍රීඩා උළෙල සඳහා වැඩි පිරිවැයක් දැරීමට බැඳී සිටී. ගිවිසුමේ 68 වන වගන්තියේ මෙසේ සඳහන් වේ:

“මෙම ගිවිසුමේ වෙනත් ආකාරයකින් පැහැදිලිව දක්වා නොමැති නම්, මෙම ගිවිසුමට අනුකූලව නගරයේ, ජපානයේ ජාතික ඔලිම්පික් කමිටුව හෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුව සියලු වගකීම් ඔවුන්ගේ වියදමින් දැරිය යුතුය.”

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රධාන නිලධාරියා වශයෙන් කටයුතු කරන, ඕස්ටේ්‍රලියානු ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා මෙන්ම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපතිවරයකුද වන ජෝන් කෝට්ස් මහතා පසුගිය සතියේ කියා සිටියේ ටෝකියෝ 2020’ වසරකින් කල්දැමීම හේතුවෙන් ඩොලර් මිලියන සිය ගණනක අලාභයක් සිදුවිය හැකි බවයි. ජෝන් කෝට්ස් මහතා වැඩිදුරටත් කියා සිටියේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අරමුදල් ‘ටෝකියෝ 2020’ වෙත නොව කෝවිඞ් - 19 වසංගතය හේතුවෙන් අමාරුවේ වැටී සිටින ජාතික ඔලිම්පික් කමිටු වෙත සහ ජාතික ක්‍රීඩා සම්මේලන වෙත යොමු කෙරෙනු ඇති බවයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සංවිධානය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනටමත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් සංවිධායක කමිටුව වෙත ගෙවා තිබේ. මෙය සිව් අවුරුදු ඔලිම්පික් චක්‍රයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක ආදායමෙන් කොටසකි. එහෙත් ඩොලර් ටි්‍රලියන 5 ක දළ දේශීය නිෂ්පාදිතයක් ඇති ජපානයට පැහැදිලිවම වැඩි සම්පත් තිබේ.

ඔලිම්පික් සංවිධාන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක මාසා ටකයා මහතා අවධාරණය කර සිටියේ ‘ටෝකියෝ 2020’ වෙනුවෙන් විකල්ප සැලැස්මක් නැති වුවහොත්, මාස 15 කින් පසුව වුවද, එනම් 2021 ජූලි 23 වන දින හෝ, ඔලිම්පික් උළෙල විවෘත කිරීමට කෝවිඞ් - 19 වයිරසයෙන් අවසර නොලැබෙන බව කණස්සල්ලෙන් වුවද පැවසිය යුතු බවයි.

 

- රොයිටර් ඇසුරිනි

 


අදහස් (0)

ඔලිම්පික් කල්දැමීමේ පිරිවැය ගෙවන්නේ කවුද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.