Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු නායකත්වය ටිම් පේන්ට

ඕස්ට්‍රේලියානු නායකත්වය ටිම් පේන්ට

Nisanka Sandeepani - 2018 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන ජුනි මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන්ට හිමිව තිබේ. පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුව ස්ටීවන් ස්මිත්ගේ හිදැස පිරවීම සඳහා තාවකාලිකව නායකත්වයට පත්කළ ටිම් පේන් එම තරගාවලියේදීත් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය. 
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකයකා ලෙස ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් නම් කර ඇති අතර ඔහු විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කිරීමට නියමිතය. ඒ අනුව එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි20 තරගයේදී මෙන්ම සිම්බාබ්වේ සහ පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 තරගාවලියේදී
ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ෆින්ච්ට හිමිවනු ඇත. 

එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහාත් ෆින්ච්ගේ නම යෝජනා වී තිබුණද, පවතින කාල වකවානුව තුළ ඔහුට එක්දින කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිව නොතිබීම හේතුවෙන් ටිම් පේන්ට නායකත්වය දීමට ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 
පේන්ගේ මෙම පත්කිරීම තාවකාලික බවත්, ඉදිරියේදී ඔහු කණ්ඩායම මෙහෙයවන ආකාරය දෙස බලා ඔහු ස්ථිර නායකත්වයට පත්කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් තේරීම් කමිටු සභාපති ටේ‍රවර් හෝන්ස් මහතා පැවැසීය. 

තහනමකට ලක්ව සිටින ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් හැර එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත එක්දින සංචිතයක්ද, ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් සමන්විත විස්සයි20 සංචිතයක්ද මේ වන විට නම්කර තිබේ. ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ප්‍රබලම වේගපන්දු යවන්නන් දෙදෙනා ලෙස සැලකෙන මිචෙල් ස්ටාක්ට සහ පැට් කමින්ස්ට මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ටද විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් එම සංචිතවල ස්ථාන අහිමිවී තිබේ. 

පසුගිය කාල වකවානුව තුළදී ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කළ ඇඩම් සම්පා වෙනුවට ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කළ නේදන් ලයන් එංගලන්ත සංචාරය සඳහා කැඳවීමටද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.  

ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය 
ටිම් පේන් (නායක), ඒරන් ෆින්ච් (උප නායක), ඇස්ටන් ඒගර්, ඇලෙක්ස් කේරි, ජොස් හෙසල්වුඞ්, ට්‍රැවිස් හෙඞ්, නේදන් ලයන්, ග්ලේන් මැක්ස්වෙල්, ෂෝන් මාෂ්, ජේ රිචඞ්සන්, කේන් රිචඞ්සන්, ඩි’ආසි ෂෝට්, බිලි ස්ටැන්ලකේ, මාකස් ස්ටොයිනිස් සහ ඇන්ඩෘ ටේ 

ඕස්ට්‍රේලියානු විස්සයි20 සංචිතය 
ඒරන් ෆින්ච් (නායක), ඇලෙක්ස් කේරි (උප නායක), ඇස්ටන් ඒගර්, ට්‍රැවිස් හෙඞ්, නික් මැඩින්සන්, ග්ලේන් මැක්ස්වෙල්, ජේ රිචඞ්සන්, කේන් රිචඞ්සන්, ඩි’ආසි ෂෝට්, බිලි ස්ටැන්ලකේ, මාකස් ස්ටොයිනිස්, මිචෙල් ස්වෙප්සන්, ඇන්ඩෘ ටේ සහ ජැක් වයිල්ඩර්මත්  

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානු නායකත්වය ටිම් පේන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.