Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ සාර්ථක ආරම්භයක් සොයති

ඕස්ට්‍රේලියානුවෝ සාර්ථක ආරම්භයක් සොයති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හය හත් මාසයකට ඉහත සිදුවූ පන්දුව පළුදු කිරීමේ නාටකයේ ජවනිකා කිහිපයක් තවමත් මනසේ ඉතිරිව තිබියදීම ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරගාවලියකට සූදානම් වෙයි. එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරගයක් පමණක් ඇතුළත් තරගාවලියේ පළමු තරගය හෙට (4 වැනිදා) පර්ත් නුවරදී පැවැත්වේ.


මෙම තරගාවලිය මෙවර ඕස්ට්‍රේලියානු ගිම්හානයේදී පැවැත්වෙන පළමු තරගාවලියයි.

අප්‍රේල් මාසයේදී කේප් ටවුන් නුවරදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඬේවිඞ් වෝනර් සහ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් ආපසු ගෙදර ගියේ කඳුළු පිරි දෙනෙතිනි. ඔවුන් තිදෙනාටම වසර කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් තහනම් විය.

මෙම සිදුවීමෙන් මාස හතක් ගියද එහි බලපෑමෙන් මිදීමට ඕස්ට්‍රේලියානු පිලට තවමත් නොහැකි වී තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය සම්බන්ධයෙන් කරන ලද පසු විපරමකදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතිය ‘කළහකාරී සහ නොහික්මුණු’ යයි හෙළිදරව් වීමත් සමගින් පැරණි තුවාල යළිත් පෑරිණ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති ඬේවිඞ් පීවර් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.  

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීට වැර වෑයමක යෙදී සිටින අතරේ ඕස්ට්‍රේලියානු එක්දින නායක ඒරන් ෆින්ච්ගේ උත්සාහය වන්නේ තමන්ගේ කණ්ඩායම සම්බන්ධයෙන් කිසියම් විශ්වාසනීයත්වයක් ඇතිකර ගැනීමයි.

එම විශ්වාසනීයත්වය ඕස්ට්‍රේලියානු ගිම්හානය හොඳින් පවත්වාගෙන යාම සඳහා ඕස්ට්‍රේලියානු පිලට අතිශයින් වැදගත් වන්නකි. දකුණු අප්‍රිකානු පිලට එරෙහි තරගාවලියෙන් පසුව ඉන්දියාවට එරෙහිව විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 3 ක් සහ තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වන ඩකණ්ඩායම ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකටද පිවිසෙයි.

ඕස්ට්‍රේලියාවේ මෑත කාලින එක්දින වාර්තාව නම් කිසිම කමකට නොවේ. අවසන් වරට සහභාගි වූ එක්දින තරග 13 න් ඕස්ට්‍රේලියානු පිල ජයගෙන ඇත්තේ තරග දෙකක පමණි. එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී පැවැති තරගාවලියේදී ඕස්ටේ්‍රලියානු පිලට 5-0 ක දරුණු පරාජයක් අත්විය.

අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වන නමුත් මීළඟ ලෝක කුසලාන තරගාවලියට මාස 7 ක් මෑතින් සිටියදී ඕස්ට්‍රේලියානුවෝ එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා ඇද වැටී සිටිති. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානුවන්ට මෙම තරගාවලියේදී කිසියම් සහනදායී ආරංචියක් ලැබේ නම් ඒ හසිම් අම්ලා සහ ජේ. පී. ඩුමිනි දෙදෙනාම දකුණු අප්‍රිකානු පිලට එක්ව නොසිටීමයි.

කෙසේ වෙතත් මෙම එක්දින තරග තුන පැවැත්වෙන පර්ත්, ඇඩිලේඞ් සහ හොබාර්ට් යන ක්‍රීඩාංගණ වලදී දෙපිලේම වේග පන්දු යවන්නන් පෙරමුණ ගන්නා බව රහසක් නොවේ.

මිචෙල් ස්ටාක්ට එක්වීම සඳහා ජොස් හේසල්වුඞ් සහ පැට් කමින්ස් දෙදෙනාම සුවය ලබා සිටිති. පිතිකරුවන්ගේ තත්ත්වය කෙසේ වුවත් ඕස්ට්‍රේලියානු වේග පන්දු බලඇණිය නම් සුපුරුදු ශක්තිමත් ස්වභාවය පවත්වාගෙන යයි. එහෙත් වඩාත් තීරණාත්මක වන්නේ ඬේල් ස්ටේන්, කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි වැනි පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට කෙසේ සිටගත හැකිද යන්නයි.

තරග කාලසටහන
4 වැනිදා - පළමු එක්දින තරගය පර්ත්හිදී
9 වැනිදා - දෙවැනි එක්දින තරගය ඇඩිලේඞ්හිදී (දිවා/රාත්‍රී)
11 වැනිදා - තුන්වැනි එක්දින තරගය හොබාර්ට්හිදී (දිවා/රාත්‍රී)

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ සාර්ථක ආරම්භයක් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.