Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු විවෘත ශූරිය ටෙනිස් පිටියෙන් සමුගනී

ඕස්ට්‍රේලියානු විවෘත ශූරිය ටෙනිස් පිටියෙන් සමුගනී

editorial - 2022 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙනිස් ලෝකය මවිතයට පත් කරමින්, අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටි ඈෂ්ලී බාර්ටි ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද (23 වැනිදා) ප්‍රකාශයට පත් කළාය. මේ වනවිට 25 වැනි වියේ පසුවන ඇය තම සිහින සැබෑ කර ගෙන ඇති බවත් “ඒවා සැබෑ ලෙසම අත්වින්ද” බවත් පවසමින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තාය.

වසර 44 කට පසු ප්‍රථම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරිය බවට පත්වීමෙන් සති කිහිපයකට පසු බාර්ටි මෙම තීරණය ගෙන තිබේ. විම්බල්ඩන්, ප්‍රංශ සහ ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය 3 ක් හිමිකර ගෙන ඇති බාර්ටි එම දස්කම කළ ක්‍රීඩිකාවන් අතලොස්සට අයත් වේ.

2019 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී ඇගේ මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය කිරීමත් සමගින් ඉවෝන් කව්ලිගෙන් පසුව වසර 50 කට පසුව ලොව අංක එකට පත්වූ පළමු ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකාව ඇය වූවාය. අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගත් බාර්ටි, ටෙනිස් පිටියෙන් සමුගන්නා තෙක්ම සිය පළමු ස්ථානය රැක ගැනීමට ද සමත් වූවාය.

2021 වසරේදී විම්බල්ඩන් ශූරතාව දිනාගත් ඈෂ්ලී බාර්ටි පසුගිය ජනවාරි (2022) මාසයේදී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගත්තාය.

“මගේ ජීවිතයේ පරම අභිලාෂයක් වූ විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ක්‍රීඩාවෙන් ඉවත්වීමට මා සූදානම්” බව පවසමින් ඇගේ සමීප මිතුරියක මෙන්ම යුගල සහකාරිනිය වූ කේසි ඩෙලැක්වා සමඟ සංවේදී සමාජ මාධ්‍ය වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින්, ලොව අංක එකේ ක්‍රීඩිකාව ක්‍රීඩාවෙන් සමුගත්තාය.

“සාර්ථකත්වය කියන්නේ, මා, සම්පූර්ණයෙන්ම, සෑම දෙයක්ම, මට කළ හැකි සෑම දෙයක්ම ලබා දී ඇති බව දැන ගැනීමයි. මම සෑහීමකට පත්වෙනවා. මම සතුටු වෙනවා. ඒත් හොඳම දේ ගෙන ඒමට කොපමණ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුද යන්නත් මා දන්නවා,”

“ඒත් මා තුළ තවදුරටත් ඒ උනන්දුව ඉතිරිවෙලා නෑ. ඉහළම මට්ටමේ ටෙනිස් ක්‍රීඩාවේදී ක්‍රීඩිකාවන්ට අභියෝග කිරීමට අවශ්‍ය භෞතික තල්ලුව, චිත්තාවේගය මට තවදුරටත් නෑ”

”මම හිතන්නේ මම දන්නවා මම සම්පූර්ණයෙන්ම, ඒක යොදවලා ඉවර බව. මගේ සාර්ථකත්වයට මට තවත් දීමට කිසිවක් නැති බව මම දන්නවා” බාර්ටි පැවසුවාය.

කාන්තා ටෙනිස් ක්‍රීඩාවේ වඩාත් ගෞරවාන්විත සහ ජනප්‍රිය ක්‍රීඩිකාවක් වන බාර්ටි ඇසිපිය හෙළන පමාවෙන් තමන් වෙත පැමිණෙන පන්දුව කපා දැමීමටත්, නිශ්චිත ඉලක්කයකට පන්දුව පිරිනැමීමටත් උපන් හපනියකි.
 
බාර්ටි, කුඩා කාලයේදී සිටම ටෙනිස් ක්‍රීඩා කිරීමට පටන් ගත් අතර 2011 වසරේදී කනිෂ්ඨ විම්බල්ඩන් ශූරතාව දිනා ගන්නා විට ඇයගේ වයස අවුරුදු 15 කි. එහෙත් එතැන් පටන් ඇයගෙන් අපේක්‍ෂා කළදේ වැඩිවීම හේතුවෙන් ඇය බොහෝ දුක් වින්දාය. වසර තුනකට පසු ටෙනිස් ක්‍රීඩාව අතහැර දැමූ බාර්ටි, ක්‍රිකට් ක්‍රීඩාව හා එක්වීමට  තීරණයක් ගත්තාය. මංගල කාන්තා බිග් බෑෂ් ලීගයේදී බ්‍රිස්බේන් හීට් කණ්ඩායම වෙනුවෙන් ඇය ක්‍රීඩා කළාය.

නමුත් ටෙනිස් ක්‍රීඩාවේ ආකර්ශනය කිසිදා දුරස් නොවූ අතර වසරකට පසු ආපසු ටෙනිස් පිටියට පැමිණි ඇය, 2019 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය අත්කරගත්තාය. වසර 50කට පසුව, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ පළමුවැනි අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවද වූවාය. පසුගිය වසරේදී විම්බල්ඩන් කිරුළ දිනාගත් ඇය මාස දෙකකට ඉහතදී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියද දිනාගත්තාය.

“මගේ සිහිනය වුණේ විම්බල්ඩන් ජයග්‍රහණය කිරීමයි. ටෙනිස් ක්‍රීඩාවේදී මට අවශ්‍ය වූ එකම සිහිනය එයයි. එය මගේ ඉදිරි ගමන වෙනස් කළා. ඒත් මට කිසියම් අවිනිශ්චිත හැඟීමක් තිබුණා. ඒ ගැන මගේ කණ්ඩායමත් එක්ක බොහෝ දේ කතා කර තිබුණා”

“ඒ වගේම මගේ තෘප්තියට පත් නොවූ, සම්පූර්ණයෙන්ම ඉටු නොවූ කුඩා කොටසකුත් තිබුණා. ඒ නිසා මම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අභියෝගයත් බාරගත්තා. දැන් සිතන්නේ මා වඩාත් පරිපූර්ණ බවයි” යයි ද ඈෂ්ලි බාර්ටි පැවසුවාය.

(ඡායාරූප - ඒ.එෆ්.පී. / රොයිටර්ස් අනුග්‍රහයෙනි)

- 2079

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු විවෘත ශූරිය ටෙනිස් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.