Last Update  :  2025-01-30 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව අලි අමාරුවක දමති
වෝන් - මුරලිදරන් කුසලාන

ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව අලි අමාරුවක දමති

editorial - 2025 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 654 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ , දිනය අවසන් වීමට මත්තෙන් කඩුලු 3 ක් ද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අලි අමාරුවක හෙළුෑහ. දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 610 ක් පසුපසින් සිටින අතර පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 410 ක් ලබාගත යුතුව තිබේ. 

දිනේෂ් චන්දිමාල් (නොදැවී 09) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 13) පිටියේ රැඳී සිටින නමුත් චන්දිමාල් දෙවතාවක්ම සිය කඩුල්ල බේරා ගත්තේ සම්පූර්ණයෙන්ම වාසනාව මතය. 

ලකුණු 05 ක් ලබා සිටියදී චන්දිමාල් දුන් පහසු උඩපන්දුවක් ‘ගලී’ හි සිටි අතිරේක ක්‍රීඩක නේතන් මැක්ස්වීනි වෙතින් ගිළිහී ගිය අතර ලකුණු 07 ක් ලබා සිටියදී නේතන් ලයන්ගේ පන්දුවක් චන්දිමාල් පසුකරගෙන යමින් කඩුල්ලේ වැදුණ නමුත් බේල බිම නොවැටීම නිසා ඔහුට කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව තිබිණ. 

තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විටත් කඩුලු 5 ක් දැවී ලකුණු 600 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානුවෝ එතැනින් එහාටත් සිය පිතිහරඹය දිගු කළහ. ඕවර 154 ක් නිමාවේදී කඩුලු 6 කට ලකුණු 654 ක් ලබා ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිම අත්හිටුවන විට විනාඩි 100 ක පමණ කාලයක් ඇතුළත ඕවර 24 කට මුහුණ දීමේ අභියෝගය ශ්‍රී ලංකා පිලට තිබිණ. 

අද දිනයේ උස්මන් කවාජා සිය මංගල ද්විත්ව ශතකය ලබාගත්තේය. කෝඩුකාර ජොෂ් ඉංග්ලිෂ් මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් 21 වැනි ඕස්ට්‍රේලියානුවා බවට පත්විය. මෙම තරගයේදී ලබාගත් ලකුණු 232, උස්මන් කවාජා ආසියානු කලාපයේදී ලබාගත් ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවයි. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිමද එයයි. 

උස්මන් කවාජා මීට පෙර ආසියාවේදී ලබා සිටි ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2023 දී ඉන්දියාවට එරෙහිව අහමදාබාද් නුවරදී ලබාගත් ලකුණු 180 යි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ඕස්ට්‍රේලියානුවා ලෙසින් ද උස්මන් කවාජා වාර්තා පොතට එක්විය. 

කවාජා සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සැමරූයේ පාකිස්තානු ජාතිකයකු මෙන් දෙදණ බිම තබා, දෑතින්ම පොළාව අල්ලාගෙන මිහිකත සිපගනිමිනි.  

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී උපත ලද උස්මන් තරීක් කවාජා ළමා වියේදීම තම පවුලේ අයත් සමගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයෙකි. 25 වැනි වියේ සිටියදී (වසර 2011 අළු බඳුන තරගාවලියේදී) ඕස්ට්‍රේලියාව නියෝජනය කළ මුල්ම මුස්ලිම් ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක්වූ කවාජා මේ වන විට 38 හැවිරිදි ක්‍රීඩකයෙකි. මුස්ලිම් ජාතිකයකු වුවද කවාජා ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමේ (2015 දී) මෙන්ම ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ පළමු පෙළ කණ්ඩායමේත් නායකත්වය දරා තිබේ. 

ශ්‍රී ලාංකීය දඟ පන්දු යවන්නන් තිදෙනා හමුවේ කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු ලබාගත් කවාජා සහ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් අතර එකඟතාව වූයේ පිට දඟ පන්දු යවන්නා වන නිශාන් පීරිස්ව මෙල්ල කරගැනීමට කවාජා ඉදිරිපත් වීමයි. පැය 7 කට වැඩි කාලයක් තිස්සේ සාර්ථක ලෙසින් නිශාන් පීරිස්ව මෙල්ල කරගෙන සිටි කවාජා, අද දින දිවා ආහාරයට පෙර, පිට දඟ පන්දු යවන්නා හමුවේ පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 69 කි. ප්‍රභාත් ජයසූරියගෙන් ලකුණු 64 ක් උදුරාගත් කවාජා පා දඟ පන්දු යවන්නා වන ජෙෆ්රි වැන්ඩසේගෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 56 කි. 

දිවා ආහාරය වන විට ලබා සිටි ලකුණු 204 න් ලකුණු 189 ක්ම දඟ පන්දු යවන්නන් තිදෙනාගෙන් ලබාගත් වමත් පිතිකරුවා ඒ සඳහා ‘ෆ්ලික්’ පහර මෙන්ම ‘රිවර්ස් ස්වීප්’ පහරත් මැනවින් උපයෝගී කරගත්තේය. ඔහු ඩ්‍රයිව් පහර යොදාගත්තේ අඩුවෙනි. 

අති විශිෂ්ට පිතිහරඹයකින් ලකුණු 141 ක් ලබාගත් නායක ස්ටීවන් ස්මිත් සහ කවාජා එක්ව වෝන් - මුරලි තරගාවලියේදී තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව සඳහා නව වාර්තාවක් ද පිහිට වූහ. වසර 2004 අස්ගිරියේදී පැවති තරගයේදී, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ඩේමියන් මාටින් එක්ව, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 200 සම්බන්ධතාව අභිබවා ගිය කවාජා සහ ස්මිත්, ගාල්ලේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 266 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 

වැන්ඩසේගේ පන්දුවක් කඩුල්ලට යා නොදී පාදයෙන් ආවරණය කිරීමේ වරදට ස්මිත් හසුවූ නමුත් විනිසුරු ඒඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක් මහතා පන්දු යවන්නාගේ ඉල්ලීම නිෂ්ප්‍රභා කළේය. එහෙත් විතීවි සහාය ඉල්ලා සිටි ධනංජය ද සිල්වා, පැය හය හමාරකට පසුව කඩුල්ලක් දවාගත්තේය.   

ප්‍රභාත් ජයසූරිය හමුවේ පන්දුව ‘මිඩ් ඕෆ්’ කලාපයට තල්ලු කරමින් සිය 200 වැනි ලකුණ සම්පූර්ණ කළ කවාජාගේ පිතිහරඹයේ සම්පූර්ණ කාලය විනාඩි 523 කි. එහෙත් කවාජා දැවී යන විට පුවරුවේ ලකුණු 547 ක් සටහන් වී තිබිණ. ඕස්ටේ්‍රලියානුවන්ගේ ලකුණු ලබාගැනීම කාලයට වඩා වේගවත් බවට තිබූ හොඳම සාක්කිය එයයි. 

කවාජා දැවී යාමට පොතුරව, ජොෂ් ඉංග්ලිෂ් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 146 ට වැයවූයේත් විනාඩි 132 කි. ප්‍රභාත් ජයසූරිය යැවූ තරමක් වේගවත් පන්දුවකින් උස්මන් කවාජාගේ පැය 9 කට ආසන්න ඉනිම නිමා විය. ජයසූරියගේ පන්දුව, කුසල් මෙන්ඩිස් අත පත්වීමට මත්තෙන් සිය පිත්තේ ගැටුණු බව වටහාගත් කවාජා, කිසිවක් නොකියාම ආපසු ක්‍රීඩාගාරයට ගියේ ගාල්ල ක්‍රීඩාංගණයේ බහුතර ප්‍රේක්‍ෂක පිරිස වන ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් මැදිනි. 

මංගල ටෙස්ට් තරගයේදී වූවත් ජොෂ් ඉංග්ලිෂ් ශතකය ලබාගත්තේත් පන්දු 90 කිනි. හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් ඔහුගේ ඉනිම සමන්විත විය. 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව අලි අමාරුවක දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.