Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියාව නැවතත් අවසන් තරගයට එයි

ඕස්ටේ‍්‍රලියාව නැවතත් අවසන් තරගයට එයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 95 කින් පරාජය කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් මහ තරගය  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර ලබන ඉරිදා (29 වැනිදා) මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්  ඕස්ටේ‍්‍රලියාව මෙන්ම නවසීලන්ත පිලද ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක කණ්ඩායම් වෙති.

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී,  ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 329 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම  ඕවර 46.5 කදී ලකුණු 233 කට දැවී ගියේය. ඉන්දීය පිල වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි හුදෙකළා සටනක නිරත වෙමින් ලකුණු 65 ක් ලබාගත් නමුත් මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා වසර 4 ක් ලෝක කුසලාන හිමිකරගෙන සිටි ඉන්දියාවට එය අතහැරීමට සිදුවිය.

කිසිවකු නොදැවී ලකුණු 76 ක් ලබාගත් නමුත් ෂිකාර් ධවාන් දැවී යාමෙන් අනතුරුව ලකුණු 32 ක් ඇතුළතදී තවත් කඩුලූ 3 ක් අහිමි කරගත් ඉන්දීය පිලට වැටුණු අගාධයෙන් ගොඩ ඒමට බැරිවිය. සුරේෂ් රයිනා ලකුණු 7 කට දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 4 කට 108 ක් ලෙසිනි.

අජින්ක්‍යා රහනේ සහ නායක මහේන්ද්‍ර  සිං දෝනි පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබුණද මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් රහනේගේ පිත්තේ යාන්තමින් ගැටී කඩුලූ රකින්නා අත පත්වීමත් සමගින් එම සම්බන්ධතාව බිඳ වැටිණ. ඒ සමගම ඉන්දීය නායකයා නැවතත් පිටියේ අසරණ වූයේ පසුපෙළ පිතිකරුවන් සමග මෙම අසීරු ගමන යා නොහැකි බව දත් හෙයිනි.

පන්දු 65 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සහ පිට පිටම ගැසූ හයේ පහර දෙකක්ද සමග ලකුණු 65 ක් ලබාගත් මහේන්ද්‍ර සිං දෝනි දැවී ගියේ ග්ලෙන් මැස්ක්වෙල් දමාගැසූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. දෝනිගේ දැවී යාමෙන් පන්දු 8 කට පසුව ඉන්දීය ඉනිම නිමා විය.
 
16 වැනි  ඕවරයේදී ඉන්දීය ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලූ 1 කට 78 ක් ලෙසිනි. ලකුණු පුවරුව එසේ තිබියදී රෝහිත් ෂර්මාට පන්දු යවමින් සිටි මිචෙල් ජොන්සන් පිතිකරුවා කෝප කරමින් ඔහුගේ මානසික ඒකාග‍්‍රතාව බිඳ දැමීය.

ඊළග පන්දුවේදී යන්තමින් කඩුල්ල බේරාගත් රෝහිත් ෂර්මා එක ලකුණක්
ලබාගත් නමුත් ජොන්සන්ට පුල් පහරක් ගැසීමට ගිය විරාට් කෝලි ඊළග පන්දුවේදී දැවී යන විට පන්දු 13 කට මුහුණ දී ලබා සිටියේ එකම ලකුණක් පමණි. ෂර්මාත් පිටියේ රැඳුනේත් තවත් පන්දු 12 ක් පමණි.

ඕවර 12 කදී කිසිවකු නොදැවී ලකුණු 76 ක ලබා සිටි ඉන්දීය පිල ඊළග  ඕවර 10 ඇතුළත වල්මත් කරවීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් සමත් වූයේ ඉලක්කයට පන්දු යැවීමට වඩා තමන්ගේ කටේ හයිය ප‍්‍රයෝජනයට ගනිමිනි. මිචෙල් ජොන්සන් මෙන්ම මිචෙල් ස්ටාක්ද එහිදී පෙරමුණ ගත්හ.

සිවුවැනි  ඕවරයේදී ෂිකාර් ධවාන් දුන් පහසු උඩපන්දුවක් කඩුලූ රකින බ‍්‍රැඞ් හැඩින් වෙතින් ගිළිහී ගියද එහි පාඩුව දැනුණේ ධවාන් එතැන් සිට ලබාගත් ලකුණු 40 දී පමණි. ජොස් හේසල්වුඞ්ගේ පන්දුවකට ධවාන් එම උඩපන්දුව දෙන විට ඔහු ලකුණු 5 ක් ලබා සිටියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 328 ක් ලබා ගත්තේය. එය ඕස්ටේ‍්‍රලියානුවන් මෙම තරගයේදී අපේක්‍ෂා කළ ලකුණු 325 ඉලක්කය පසුකර යාමක් විය. කාලගුණ වාර්තාවත් පිටියේ ස්වභාවයත් අනුව රාති‍්‍රයේදී ලකුණු 300 ක් හඹායාම අසීරු අභියෝගයක් බව  ඕස්ටේ‍්‍රලියානුවෝ හොඳාකාරවම දැන සිටියහ.

කාසියේ වාසිය දිනාගත්  ඕස්ට්ලියානු පිල කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර 30 වැනි  ඕවරය නිසා වනවිට සත්කාරකයෝ කඩුල්ලක් දැවී ලකුණු 155 ක් ලබා සිටියහ. ස්ටීවන් ස්මිත් සහ ඒරන් ෆින්ච් එක්ව ප‍්‍රහාරය දියත් කිරීම සඳහා කදිම වේදිකාවක් තනා ගත් අතර කඩුලූ 9 ක් අතැතිව සිටි  ඕස්ටේ‍්‍රලියානුවෝ අවසන්  ඕවර 20 දී ලකුණු 173 ක් ලබාගැනීමට සමත් වූහ.

උසස් මට්ටමේ පිතිකරුවකු සතුවිය යුතු සංයමය මෙන්ම දුර්වල පන්දුව දුටුතැන පහර දීමේ යුහුසුළු බවත් කදිමට ප‍්‍රදර්ශනය කරමින් මනස්කාන්ත පිතිහරඹයක නිරත වූ ස්ටීවන් ස්මිත් පන්දු 89 කදී සිය සිවුවැනි එක්දින ශතකය සම්පූර්ණ කළේ එය හතරේ පහර 10 කින් සහ හයේ පහර දෙකකින් අලංකාර කරමිනි.

ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ලකුණු 15 දී දැවී ගියත් ස්මිත්  සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 182 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඒරන් ෆින්ච් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 81 ක් ලබාගත්තේය.

උමේෂ් යාදව් කඩුලූ 4 ක් දවාගත් නමුත්  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ ඔහුගෙන් ලකුණු 72 ක් ම උදුරා ගනිමින් තමන්ට  ඕනෑ හරිය කරගත්හ.

 

ලකුණු පුවරුව

ඉන්දියා - ඕස්ට්‍රේලියා තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව නැවතත් අවසන් තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.