Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානුවෝ ලෝක කුසලාන දිනති

ඕස්ටේ‍්‍රලියානුවෝ ලෝක කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලකුණු 184 ක පහසු ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානුවෝ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී නවසීලන්ත පිල කඩුලූ 7 කින් පරාජය කරමින් 2015 ලෝක කුසලාන දිනාගත්හ.

ඕවර 33.1 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 186 ක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියානු පිල විසින් ලෝක කුසලාන දිනාගන්නා ලද පස්වැනි අවස්ථාව මෙයයි.

මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ නව පේ‍්‍රක්‍ෂක වාර්තාවක් පිහිටුවමින්, තරගය නැරඹීම සඳහා පැමිණි 93,013 ක ජනකායක් ඉදිරියේ දිගහැරුණු සිය අවසන් එක්දින ඉනිමේදී ඉතාමත් අලංකාර පිතිහරඹයක නිරත වූ  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දු 72 කින් අලංකාර ලකුණු 74 ක් ලබාගත්තේ හතරේ පහර 10 කින් සහ දර්ශනීය හයේ පහරකින් එය සරසාලමිනි.

පිතිකරු හමුදාවකින් සමන්විත  ඕස්ටේ‍්‍රලියානු පිල හමුවේ නවසීලන්ත පිලට රැුකගත යුතුව තිබුණේ ලකුණු 183 වැනි සොච්චමකි.

ඕස්ටේ‍්‍රලියානු පිලේ පළමු කඩුල්ල ලකුණු 2 දී බිඳ වැටුණ නමුත් ඬේවිඞ් වෝනර් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටීවන් ස්මිත්, ඕස්ටේ‍්‍රලියානු නායකයා වූ මයිකල් ක්ලාක් සමග එක්ව ඇතිකරගත් සම්බන්ධතාව ලකුණු 112 ක් විය. ජයග‍්‍රහණයට ලකුණු 9 ක් මැතින් සිටියදී අනපේක්‍ෂිත ලෙසින් මයිකල් ක්ලාක් දැවීගියේ මැතිව් හෙන්රි විසින් යවන ලද පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

මෙම තරගයත් සමගම මයිකල් ක්ලාක් එක්දින තරග බිමෙන් සමුගත් අතර කී‍්‍රඩාගාරයට යද්දී සිය පිත්ත ඔසවා පේ‍්‍රක්‍ෂකයන්ට ආචාර කළ ක්ලාක්ට කණ්ඩායමේ සගයින්ගෙන් මෙන්ම නවසීලන්ත කී‍්‍රඩකයන්ගෙන්ද උණුසුම් සුබපැතුම් ලැබිණ.

ලෝක කුසලාන තරගාවලිය පුරාම අති විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 402 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් තරග 8 කදී පස්වැනි වතාවටත් අර්ධ ශතකයේ  සීමාව පසුකර යමින් නොදැවී ලකුණු 56 ක් ලබාගත්තා පමණක් නොව  ඕස්ටේ‍්‍රලියානු පිලේ ජයග‍්‍රාහී හතරේ පහර ගැසීමේ වාසනාවන්තයාද විය.

තරග 8 කට සහභාගි වෙමින් කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 10.18 ක සාමාන්‍යයක් සහිතව කඩුලූ 22 ක් දවාගත්  ඕස්ටේ‍්‍රලියාවේ වමත් වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලූ 3 ක් ලකුණු 36 කට දවාගත් ජේම්ස් ෆෝක්නර් තරගයේ වීරයා විය.

පළමු තරගයේ සිටම එක දිගට තරග 8 ක් ජයගනිමින් නවසීලන්ත කණ්ඩායම වසර 40 කට පසුව ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් නමුත් අවසන් මහ තරගය පමණක් පරාජය විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිලේ පළමු පිතිකරුවෝ තිදෙනාම ලකුණු 39 කට දැවී ගියහ. රොස් ටේලර් (40) සහ ග‍්‍රාන්ට් එළියට් (83) දෙදෙනාගේ සටන්කාමී පිතිහරඹය නිසා නවසීලන්ත පිල බලාපොරොත්තු අලූත් කරගත් නමුත් පිතිකරු අධිවේගී  ඕවර 5 දී ලකුණු 15 කට කඩුලූ 3 ක් දවාගත්  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ නැවතත් තරගයට කඩා වදිමින් නවසීලන්ත ඉනිම ලකුණු 183 කට සීමා කළහ.

නවසීලන්ත පිලේ මුල් කඩුලූ තුනම ලකුණු 39 කට බිඳ වැටුණද සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක් එක්කළ ටේලර් සහ එළියට් දෙදෙනා නවසීලන්ත පිල වෙනුවෙන් බලාපොරොත්තු ගොඩනැංවීම ආරම්භ කළහ. එහෙත් පිතිකරුවන්ගේ අධිවේගී ඕවර 5 ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවේදීම රොස් ටේලර් දැවී යාමත් නවසීලන්ත පිලේ අවසන් නම්දැරූ පිතිකරුවා වන ලූක් රොන්කි ආපසු කී‍්‍රඩාගාරයට යාමත් අතර යැවුණේ පන්දු 7 ක් පමණි.

වරෙක කඩුලූ 3 කට ලකුණු 150 ක් සේ දිස්වූ ලකුණු පුවරුව, රොස් ටේලර්ගේ දැවී යාමත් සමගින් එකතැන කඩා වැටිණ. නවසීලන්ත පිලේ අවසන් කඩුලූ හතම ලකුණු 23 ක් ඇතුළතදී ඇද වැටිණ.

පිතිකරුවන්ගේ අධිවේගී  ඕවර යැවීම ආරම්භ කරමින් ජේම්ස් ෆෝක්නර් විසින් යවන ලද පළමු පන්දුවට රොස් ටේලර් දුන් උඩපන්දුව ඉතාමත් දක්‍ෂ අයුරින් රැකගැනීමට බ‍්‍රැඞ් හැඩින් සමත් වූවත් පන්දු යවන්නාගේ වාසියට තීන්දුව ලැබුණේ විනිසුරු කුමාර් ධර්මසේන විසින් තුන්වැනි විනිසුරුවරයාගේ සහායද ලබාගත්තාට පසුවය.

නවසීලන්ත පසුපෙළ මහත් බලාපොරොත්තු රඳවා සිටි කෝරි ඇන්ඩසන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම දවාගැනීමට ෆෝක්නර් සමත් වූ අතර ඊළග  ඕවරයේ දෙවැනි පන්දුව ලූක් රොන්කිගේ පිත්තේ ගැටී ස්ලිප් හි සිටි මයිකල් ක්ලාක් අත පත්වූයේ තරගය එකතැන ආපසු හරවමිනි.

ඒ වන විට පිටියේ තනිවී සිටි ග‍්‍රාන්ට් එළියට් හුදෙකළා සටනක නිරත වෙමින් ලකුණු 79 ක් දක්වා ප‍්‍රවේසමෙන් ගිය නමුත් ඩැනියෙල් විටෝරි දැවී යාමත් සමගම තනිවම ගමන් ඇරඹීය. එහෙත් එතැන් සිට ඔහුට යා හැකි වූයේ ලකුණු 4 ක දුරක් පමණි.

පන්දු 82 කට මුහුණ දුන් ග‍්‍රාන්ට් එළියට් හතරේ පහර 7 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළද පසුපෙළ පිතිකරුවන්ගෙන් සහයෝගයක් නොමැති වීම හේතුවෙන් නවසීලන්තය වෙනුවෙන් ඔහුට කළ හැකිව තිබූ මෙහෙවර අපතේ ගියේය.

තරගය ආරම්භයේදීම පිතිකරුවන් දමනය කරගත්  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නෝ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ට ලකුණු ලබාගන්නට අවසර නොදී පන්දු 3 ක් ඇතුළත දවාගැනීමට සමත් වූහ. කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක (12 වැනි  ඕවරයේදී) ග්ලෙන් මැක්ස්වෙල් පන්දු යැවීමට කැඳවූ  ඕස්ටේ‍්‍රලියානු නායකයා, දග පන්දු යවන්නාගේ දෙවැනි පන්දුවෙන්ම මාටින් ගප්ටිල් දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළද එයින් නිසි ප‍්‍රතිඵල ලබාගැනීමට නවසීලන්ත පිතිකරුවන් අසමත් වූයේ ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගේ සැලසුම් සහගත පන්දු යැවීමත්, නායක මයිකල් ක්ලාක්ගේ විචක්‍ෂණ පන්දු යවන්නන් මෙහෙයවීමත් හේතුවෙනි.

 ඕස්ටේ‍්‍රලියානු පිලේ වමත් වේග පන්දු යවන්නන් තිදෙනා වන මිචෙල් ස්ටාක්, මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆෝක්නර් තිදෙනා කඩුලූ 8 ක් බෙදාගත්හ.


අවසන් තරගයේ වීරයා : ජේම්ස් ෆෝක්නර් ( ඕස්ටේ‍්‍රලියාව)
තරගාවලියේ වීරයා : මිචෙල් ස්ටාක් (ඕස්ටේ‍්‍රලියාව)

 

ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියා - නවසීලන්ත අවසන් මහා තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ඒ.එෆ්.පී අනුග‍්‍රහයෙනි)

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ ලෝක කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.