Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කඳුළු පිරි නෙතින් නේමර් ආජන්ටිනාවට සුබ පතයි

කඳුළු පිරි නෙතින් නේමර් ආජන්ටිනාවට සුබ පතයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

තරගමාලාවට පෙර ලෝක පාපන්දු ප්‍රජාව අපේක්ෂා කළ හැටියට බ්‍රසීලය අවසන් තරගයට ආවේ නැත. කෙනකුගේ සතුට තවත් කෙනකුගේ කඳුළක්ය යන සදාකාලික සත්‍යය නැවත පසක් කරමින් මුලු බ්‍රසීලයම කඳුළු ගඟක ගිල්වා අවසන් තරගයට ගියේ ජර්මනියයි.

ජර්මනිය අවසන් පූර්ව තරගයේ දී තරග වැදුණේ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනකු අහිමිවූ කණ්ඩායමක් සමගනි. එබැවින් ඔවුන් හිතේ හැටියට බ්‍රසීලයට එරෙහිව ක්‍රීඩා කළහ. එදා ක්‍රීඩාංගණයට ගෝල වරුසාවක්ම වැස්සේය.

මේ සියල්ලටම ආසන්න හේතුව වූයේ කොලොම්බියාව සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී බ්‍රසීලයේ සුපිරි තරුව නේමර් තුවාල ලබා තරගමාලාවෙන් ඉවත්වීමය. ඒ වනවිට ඔහු තරගමාලාවේ සියලු කණ්ඩායම්වල ප්‍රබල අභියෝගයක්ව සිටි අතර ලෝක කුසලානය බ්‍රසීලයට හිමිකර දීමට සූදානමින් පසුවිය. එහෙත් එම තරගයේ අවසන් මොහොතේ කොලොම්බියාවේ සුනීගාගේ බරපතල වරදකින් නේමර්ගේ සිහින ලෝකය සුනුවිසුණුවී ගියේය.

"සුනීගාට ඕනෙ නම් මාව රෝද පුටුවක යන්න සලස්වන්න තිබ්බා. ඒත් මම කෝන්තර පිරිමහන්න යන්නෙ නෑ" මුලු රටම හඬවා අවසන් පූර්ව තරගයෙන් බ්‍රසීලය ඉවතට විසිවීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක දී නේමර් එසේ ප්‍රකාශ කළේය. ඔහු සිටියේ හැඬූ කඳුළිනි. එය රෝහල් ගත කිරීමෙන් පසුව නේමර් ලබාදුන් පළමු මාධ්‍ය සාකච්ඡාව විය.

ආබාධයකට ලක්ව තරගමාලාවෙන් ඉවත්වීමට සිදුවූවත් රෝද පුටුවකට නොවැටී ඇවිදගන්න පුළුවන් තත්ත්වයක සිටීම ගැන දෙවියන්ට ස්තූති කිරීමට ද නේමර් අමතක කළේ නැත.

"මම කියන්නේ නෑ ඔහු මට තුවාල කරන්නම ආවා කියලා. ඒත් මම දන්නේ නෑ ඒ වෙලාවේ ඔහුගේ හිතේ මොන වගේ අදහසක් තිබුණාද කියලා. කොහොම හරි ඒක අසාමාන්‍ය බාධා කිරීමක්. කාට හරි ඕනෙ නම් ප්‍රතිවාදියා මෙල්ල කරන්න ඔහු කළ යුත්තේ ප්‍රතිවාදියාගේ පාදයට පහර දීමයි. එහෙම නැත්තම් තල්ලු කර දැමීමයි. ඒත් මේ සිදුවීමේ ඊට වඩා දෙයක් තිබුණා කියලයි මට හිතෙන්නේ" නේමර් කීවේය.

තවත් සෙන්ටිමීටර් දෙකක් එහාට මෙහාට වුණා නම් තමාට සදාකාලිකව රෝද පුටුවක සිටීමට සිදුවෙතැයි කියමින් නේමර් මහ හඬින් වැලපෙන්නට පටන් ගත්තේය.

තමා රෝහල් ගත කළ දිනට පසුදින සුනීගා තමාට දුරකතන ඇමතුමක් දී සමාව ඉල්ලා සිටි බව ද නේමර් මෙහි දී සඳහන් කළේය.

"මම කවදාවත් ඔහුට රිද්දන්නේ නෑ. මං කෝන්තර පිරිමහන ජාතියේ කෙනෙක් නෙවේ."

එහෙත් කරුණු එසේ වූවද සුනීගාට මේ වනවිට මරණ තර්ජන එල්ල වීමට පටන් ගෙන තිබේ. විවිධ සමාජ වෙඩ් අඩවි හරහා බ්‍රසීලයේ මෙන්ම ලෝකයේ විවිධ රටවල ක්‍රීඩාලෝලීන් සුනිගාට මරණ තර්ජන කිරීමත් සමග ඔහුට දැඩි ආරක්ෂාවක් ලබාදීමට කොලොම්බියා රජය පියවර ගෙන ඇත.

ජර්මනියට පරාජය වූ බ්‍රසීලය දැන් තරගමාලාවේ තුන්වැනි තැන දිනා ගැනීමේ අරමුණින් නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතය. එම තරගය සෙනසුරාදා රාත්‍රියේ පැවැත්වේ.

ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් මහා තරගයට පැමිණි බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ආජන්ටිනා සගයන් වෙනුවෙන් ආජන්ටිනාවට සුබ පතන බවත් නේමර් කියා සිටියේය.

"මම නිතරම කිව්වේ ආජන්ටිනාව අවසන් මහා තරගයට පැමිණෙනු දැකීම මගේ ආසාව බවයි. අපි අවසන් තරගයට යන බව මුල ඉඳලම දැන සිටි නිසා මට ඕනා කළේ අවසන් තරගයේදී මගේ බාසිලෝනා පිලේ සගයන් වන මෙසී හා මැස්චෙරානෝ එක්ක කරට කර තරග කරන්නයි"

"ඒත් දැන් අපි අවසන් තරගයේ නෑ. නමුත් අවසන් තරගයේදී මම ආජන්ටිනාව වෙනුවෙන් සහයෝගය දක්වනවා" යයි නේමර් කීවේය.

නේමර් හා මෙසී බාසිලෝනා ක්‍රීඩා සමාජයේ තරග ජයග්‍රහණ කරවන්නෝ වෙති. දෙදෙනා එක්ව එවැනි ජයග්‍රහණ ඇති තරම් සමරා තිබේ.

"මෙසීගේ කුසලාන කැබිනෙට්ටුවට මේක විතරයි අඩු. මම හිතනවා ඔහු මේ කුසලානයත් අරගෙන යාවි කියලා. මම කැමතියි ඒක එහෙම වෙනවානම්." නේමර් කීවේය.

"මොකද මෙසී මගේ සගයා..ඔහු මගේ යාළුවා.."


අදහස් (7)

කඳුළු පිරි නෙතින් නේමර් ආජන්ටිනාවට සුබ පතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.