Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කයිල් අබේසිංහගෙන් රිදී පදක්කමක්

කයිල් අබේසිංහගෙන් රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බහමාස්හිදී අනිද්දා (23) නිමාවට පත්වීමට නියමිත හයවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම හිමි කර දුන් පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ එහිදී මීටර 100 නිදහස් ආර බාලක ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. තත්පර 50.93 කට එම ඉසව්වේ අවසන් තරගයේදී දෙවැනි ස්ථානයට පත් කයිල් අබේසිංහට තියුණු තරගයක් දෙමින් එහි රන් පදක්කම දිනා ගත්තේ ස්කොට්ලන්ත ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් ස්කොට් ටැත්ලේ (තත්පර 50.46) විසිනි.

මෙම ඉසව්වේ මූලික වටයේ පස්වැනි තරගයට සහභාගි වූ කයිල් අබේසිංහ එහිදී තත්පර 51.30 කට දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. මෙම මූලික තරගයේදී ද තත්පර 51.02 කට පළමු ස්ථානයට තරගය නිමා කළේ රන් පදක්කම්ලාභී ඇලෙක්සැන්ඩර් ස්කොට් විසිනි.

ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රචලිත පවුලක් වන අබේසිංහ පවුලේ සාමාජිකයකු වන කයිල් අබේසිංහගේ වැඩිමහල් සොහොයුරකු වන මැතිව් අබේසිංහ ඇසෑම් සාක් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතක් දිනාගත් ක්‍රීඩකයායි.

මීටර් 100 බාලිකා තරගයේ අවසන් පූර්ව වටයේදී තත්පර 12.70කට තරගය නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට එය අවසන් තරගයට පිවිසීමට ප්‍රමාණවත් නොවීය. එහිදී ඇයට අත්වූයේ හත්වැනි ස්ථානයයි. මීටර් 400 බාලිකා ඉසව්වේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා චාවි සඳුනි උඩකපුරුගලගේ මූලික වටයේදීම පරාජයට පත්වූයේ තත්පර 58.43 ක කාලයක් වාර්තා කරමිනි.

මෙම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් පස් දෙනකු තරග වදින අතර ඔවුන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (21) මාධ්‍යම රාත්‍රියේදීත් තවත් ඉසව් කීපයකට සහභාගි වීමට නියමිතය.

බොක්සිං තරගාවලියේදී ඒ සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා වන කාවින්ද සංජය කිලෝග්‍රෑම් 46-49 බර පංතියේ මූලික වටයේ තරගයකදී ඕස්ටේ්‍රලියාවේ ජෝශප් බෙන්ජමින් කැමරුන් ලකුණු 5-0 කට පරාජය කිරීමට සමත් වුවත් අර්ධ අවසන් පූර්ව තරගයේදී වේල්ස් ක්‍රීඩක ජේම්ස් තනාත් ප්‍රොවඞ්ට ලකුණු 4-1කට පරාජය වීමෙන් ඔහුගේ ක්‍රීඩා උළෙලේ සහභාගීත්වය එතනින් අවසන් විය. ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩිකා එරංගා මධුමාලි කිලෝග්‍රෑම් 51 බර පන්තියේ බාලිකා ඉසව්වේ මූලික වටයෙන්ම ඊයේ පරාජයට පත්වූයේ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ටී. උරෑන්ග් ශාලාග්ටය.

මේ අතර සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ පෙරේදා පැවැති තරගයකදී ලකුණු 32-5 කට පරාජය වුණත් බහමාස් රාජ්‍යයට එරෙහිව පැවැති තරගය ලකුණු 76-0 ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

මෙවර ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියට ද ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක් ඉදිරිපත්ව සිටින අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනීකා සෙනෙවිරත්න වට 2-0 කට බහමාස් ක්‍රීඩිකාව පරාජය කළාය. කේවල බාලක මූලික තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩක විබූධ ඉන්දීප ජයසුන්දර වට 2/0 කට පීජී ක්‍රීඩකයා පරාජය කළත්, දෙවැනි වටයේදී ඔහුට මුණගැසුණු වේල්ස් ක්‍රීඩක ජේම්ස් මාන්ට වට 2/0 කින් පරාජය වීම නිසා එම ඉසව්වේ ඔහුගේ ගමන එයින්ම නිමාවට පත්විය. මෙම ශ්‍රී ලාංකික ටෙනිස් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව අද මිශ්‍ර යුගල තරග ඉසව් සඳහා ද සහභාගි වීමට නියමිතය.  

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින අතර, කයිල් අබේසිංහගේ රිදී පදක්කම හමුවේ ශ්‍රී ලංකාව අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රිය වනවිට පදක්කම් දිනා ගත් රටවල් අතර මොසම්බික් රාජ්‍යය හා සම 17 වැනි ස්ථානයේ පසු විය. රන් පදක්කම් 7 ක් දිනා එංගලන්තය ක්‍රීඩා උළෙලේ ඒ වනවිට පෙරමුණ ගෙන සිටියේය.

ඒ අතර ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව එක් රන් පදක්කමක් ද ඇතුළුව ලෝකඩ පදක්කම් තුනක් හිමි කරගෙන පදක්කම් සටහනේ නව වැනි තැනට පත්ව තිබුණි. ඉන්දියාව දිනා ගත් එම සියලු පදක්කම් ජූඩෝ ක්‍රීඩාවෙන් දිනා තිබේ.

 

 


අදහස් (0)

කයිල් අබේසිංහගෙන් රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.