Last Update  :  2024-12-11 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කරට කර සටනක පෙරනිමිති
ඩර්බන් ටෙස්ට් තරගය

කරට කර සටනක පෙරනිමිති

editorial - 2024 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඩර්බන් නුවර කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේදී සටන ඇරඹෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරය. එහෙත් මේ සටනේ කොටස්කරුවෝ ඕස්ට්‍රේලියාවේ මෙන්ම නවසීලන්තයේත් සිටිති. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (26 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ගැන කෙටියෙන්ම කිව හැක්කේ ඒ කතාවයි. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කරට කර සටනක පෙරනිමිති දැනටමත් දක්නට තිබේ. 

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේ ස්ථාන දෙකක් සොයමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවත්, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවත් (ඕස්ට්‍රේලියාවේදී) නවසීලන්තයත් (එංගලන්තයට එරෙහිව නවසීලන්තයේදී) සටනට බැස සිටිති. 

නවසීලන්තය හා තරග වදින එංගලන්තය කල්තියාම සටනින් පසුබැස ගියේය. බටහිර ඉන්දීය දූපත් සමූහයේදී තරග වදින කොදෙව් පිලට මෙන්ම බංග්ලාදේශයටද මේ සටනින් ඇති පලක් නැත. එහෙත් ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ මුල් ස්ථාන දෙක අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව මෙන්ම නවසීලන්තය අතර ඇත්තේ තියුණු තරගයකි. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වෙයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ දැඩි ආත්ම විශ්වාසයකිනි. මේ වසරේදී තරග 6 ක් ජයගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ 3 වැනි ස්ථානය අත්පත් කරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ තරග තුනම ජයගෙන තිබේ. විශේෂයෙන්ම එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දිරිය වඩවන්නකි. 

දකුණු අප්‍රිකානුවන් තරගයට පිවිසෙන්නේත් ඔවුන්ගේ ආසන්නතම ටෙස්ට් තරග තුනම ජයගැනීමෙන් පසුවය. දකුණු අප්‍රිකාවෙන් පිටතදී ලබාගත් තරගාවලි ජයග්‍රහණ දෙකක් ඊට ඈඳී තිබේ. බංග්ලාදේශ සංචාරයේදී දකුණු අප්‍රිකානු කණ්ඩාය සමග නොසිටි නායක ටෙම්බා බවුමා, ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්ව සිටී. ටික කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි බැවින් දකුණු අප්‍රිකානු පුහුණුකරු ෂුක්රි කොන්රඩ් මහතා බවුමාගේ උනන්දුව උපමා කළේ “සෙල්ලම් බඩු කඩේට ගිය කොල්ලා” යයි කියමිනි. 

කිංග්ස්මේඩ් පිටියේදී තණකොළ සපිරි තණතීරුවක් අපේක්‍ෂා කළ නොහැකිය. කේෂව් මහාරාජ් මෙන්ම සෙනුරන් මුතුසාමි දෙදෙනාම දඟ පන්දු යවන්නන් ලෙස සංචිතයේ සිටිති.

 එබැවින් තරගය ආරම්භයේදී තරමක වේගයක් මෙන්ම ඉපිළීමක් ද තිබිය හැකි නමුත් තරගය දිගහැරෙද්දී සාධාරණ දඟ කැවීමක් අපේක්‍ෂා කළ හැකි තණතීරුවක් එහි තිබිය හැකිය. ඇරත් ඩර්බන් නුවරදී උපන්, ඉන්දීය සම්භවයකින් යුත් කේෂව් මහාරාජ්, කිංග්ස්මේඩ් පිටියේ සෑම අඟලක්ම හොඳින් හඳුනන්නෙකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභාත් ජයසූරිය මෙන්ම නිශාන් පීරිස් දෙදෙනාම ඇතුළත් කර ඇත්තේ මහාරාජ්ට සූදානම් කෙරෙන තණතීරුවකදී ශ්‍රී ලාංකිකයන්ටත් ගතහැකි ප්‍රයෝජනයක් ලබාගැනීම සඳහාය. 

1998 දී ලන්ඩන් ඕවල් තණතීරුව සූදානම් කළේ එවකට සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරමින් සිටි පාකිස්තානු ක්‍රීඩක සක්ලේන් මුස්තාක් වෙනුවෙනි. එහෙත් එහි නියම ප්‍රයෝජනය ගන්නා ලද්දේ ඕවල් ටෙස්ට් තරගයේදී කඩුලු 16 ක් දවාගත් මුත්තයියා මුරලිදරන් විසිනි. එබැවින් ප්‍රභාත් ජයසූරිය මෙන්ම නිශාන් පීරිස් දෙදෙනාම කිංග්ස්මේඩ් තණතිරුව සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් සිටිති. 

කමිඳු මෙන්ඩිස් වෙත සියලු දෙනාගේම ඇස් යොමුවී තිබේ. 

මේ වසරේදී පැවැති ටෙස්ට් තරග 7 කදී ලකුණු 943 ක් ලබා සිටින කමිඳු මෙන්ඩිස්ට ලිත් වර්ෂයක් අතුළත ලකුණු 1000 කඩඉම පසුකිරීමේ හොඳ අවස්ථාවක් තිබේ. මේ වසර තුළ කමිඳුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 94.30 ක් වන අතර ඔහු වසර නිමාකරන්නේ කෙලෙසද යන්න බොහෝ දෙනා බලා සිටිති. 

ඩර්බන් තරගයේදී තවත් කඩුලු 3 ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබුණොත්, ඔහු ටෙස්ට් තරග 17 කින් කඩුලු 100 කඩඉම පැනගිය ක්‍රීඩකයන් පස්දෙනාගෙන් අයකු ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත. ටෙස්ට් තරග 16 කින් කඩුලු 100 ක් දවාගත් එංගලන්ත ජාතික ජෝර්ජ් ලෝමන් එහි ලෝක වාර්තාවට හිමිකම් කියයි. 

 


අදහස් (0)

කරට කර සටනක පෙරනිමිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.